Friday, March 23, 2018

හින්දි උණ


පහු ගිය දවසක සිරි දේවිත් හදිස්සියෙන්ම වගේ යන්න ගිය වෙලාවෙ මට මතක් උනේ මේ මිනිස්සු එක්ක ගැට ගැහිච්ච කොච්චර නම් මතක අපේ ඔලු ඇතුලෙ තියනවද කියල. ශ්රී දේවි දකින හැම පාරකම මට ඉස්කෝලෙ කාලෙ මතක් වෙන්න පොඩි හේතුවකුත් තියනව. ඒක කියන්නත් එක්කම මේ හදන්නෙ කාලෙ අපිට තිබ්බ හිංදි උණ ගැන මතක් කරන්න.

ඉස්කෝලෙ ඉස්සෙල්ලාම කතා බහට ලක් වෙච්ච හින්දි පිලුම් එක තමයි සාජන්. මේක තිර ගත උනේ 1991 උනාට අපිට බලන්න පුලුවං විදියට ටීවී එකේ ගියෙ 93 විතර. මුල්ම පැය භාගෙ නම් සෑහෙන්න අවුල්. සල්මාන් ට උනත් ඒ දවස් වල තිබ්බෙ බලං ඉන්න පුළුවන් හැඩයක් නෙමෙයි නෙ. ඔන්න පැය භාගෙකට පස්සෙ පෙන්නනව ගෑල්ලමයෙක්! අක් ඹමරු කෙස්... කතා කරන ඇස්... ලය මඩළ උස්... වට් ඊස් දිස්?? ගෑල්ලමය කියනව සිංදුවක්... "බොහොත ප්‍යාර් කර් තේ හේ තුම් කෝ සනම්...". එදා තමයි අපි මධුරි දික්ශිත් ව ඉස්සිස්සෙල්ලම දැකපු තීරණාත්මක දවස. ඒ තමයි පටං ගැන්ම.

ඒ දවස් වල අද වගේ හැමදාම ටීවී එකේ ෆිල්ම් යන්නෙ නෑ. සතියකට එකයි. ගොඩක් වෙලාවට හින්දි ෆිල්ම් යන්නෙ ඉරිදා හවස. කොච්චර වැඩ තිබ්බත් ඉරිදා දවල් 12ට සිරසෙ හින්දි ටොප් 40 අහල, 2ට ෆිල්ම් එක බලන එක නම් වැරදුනේ නෑ. අම්මගෙ නම් කිසිම කැමැත්තක් තිබ්බෙ නෑ මේකට. අම්ම හිතුවෙම මම මෙව්ව බලල එව්ව practice කරන්න යයි කියල. ඒත් අප්පච්චි හිතුවෙ වෙනම විදියකට. අභිමාන්, ගීත්, එක් පූල් දෝ මාලි වගේ පරණ ෆිල්ම් මට ගෙනත් දුන්නෙ අප්පච්චි. VHS තමයි ගෙනත් දෙන්නෙ. කැසට් එක විතරක් මදි, ඒක බලන්න ඩෙක් එකත් එපායැ. ඒක ගෆූර් අය්යගෙන් කුළියට ගන්නෙ. මට ෆිල්ම් පෙන්නන්න අප්පච්චිට සෑහෙන්න වියදම් උනා. ඔය ගෙනත් දීපු කැසට් අතරෙ තිබ්බ "නාගීනා". ඒකෙන් තමයි මම ඉස්සෙල්ලම ශ්‍රී දේවී දැක්කෙ. ඊට පස්සෙ ඒ කාලෙ ආපු ශ්‍රී දේවි ගෙ ෆිල්ම් එකක් වැරදුනේම නෑ. චාන්ද්නී, සද්මා, මිස්ටර් ඉන්දියා, හිම්මත්වාලා, ලාඩ්ලා වගේ එව්ව විතරයි දැන් මතක. පස්සෙ ශ්‍රී දේවිගෙ කසාදෙත් එක්කම අපිට සිද්ද උනා එයාව අමතක කරල දාන්න.

මේ උණ මට තනියම හැදිච්ච එකක් නෙමෙයි. ඉස්කෝලෙ ඔක්කොටෝම වගේ තිබ්බ. අපේ පංතියෙ එකෙක් හැම මාසෙකටම සැරයක් සමීක්ශණයක් කරනව පංතියෙ කොල්ලන්ගෙ කැමතිම හින්දි නිලිය කව්ද කියල හොයන්න. ඔය කාලෙදිම තමයි හින්දි නළු නිලියන්ගෙ පෝස්ට් කාඩ් අවෙ. ඉස්කෝලෙ ඉස්සරහ මෙව්ව වික්ක අංකල්ලා සෑහෙන්න පොහොසත් වෙන්න ඇති අපි හින්දා. සල්ලිත් නැති හින්දා වරකට එක බැගින් තමයි ගත්තෙ. මම ඉස්සෙල්ලම ගත්තෙ ශ්‍රී දේවිගෙ පොටෝ කෑල්ලක්. ඔය උඩ තියෙන්නෙ ඒක. දෙවෙනියට ගත්ත එක නීලම් ගෙ. එයත් ඉන්න්ව ඕං උඩ. ඔය අස්සෙ පොටෝ මාරු කර ගන්න එවුනුත් හිටියා. "මට උඹෙ මධුරිව දියං, මගෙ සල්මන් උඹට දෙන්නම්" වගේ දෙබස් ඕනෙ තරම් ඇහුනා.

ටීවී එකෙන් ඩෙක් එකෙන් ෆිල්ම් බල බල හිටපු අපි ටිකක් ලොකු උනාම පටං ගත්ත ෆිල්ම් hall වල ට යන්න. අනුරාධපුර විජේන්ද්‍රා එක වගේම කටුගස්තොට එරීනා එකත් නිකන් ගෙදර වගේ උනා.කාජල් ඉන්න එකක් නම් අත ඇරියෙම නෑ. ඉස්සෙල්ලම හෝල් එකක බලපු කාජල් ගෙ ෆිල්ම් එක තමයි “හමේෂා”. සයිෆ් අලි කාන් තමයි හිටියෙ කොලුවට. එහෙම කිව්වට ඌට තිබ්බෙත් අපේ වගේම කන් තමයි 😂 . පුනරුප්පත්ති කතාවක් හින්ද සෑහෙන්න හිතට වැදුන. ඒත් එක්කම වගේ ආව "ප්‍යාර් ක්‍යා තෝ ධර්නා ක්‍යා" කියල එකක්. ඒකෙ හිටියෙ කාජල් සමඟ සල්මාන් කාන්. ඒ වෙනකොට සල්මාන් ගෙ අත පය ටිකක් හැදිල තිබ්බෙ. කොච්චර ඇඟ හැදුනත් මිනිහගෙ ගොංපාට් ටික නම් එලෙසම තමයි. මූල්‍යමය අර්බූද හින්ද ගන්න වෙන්නෙ ගැලරි ටිකට්. ගැලරි පුටු තියෙන්නෙ screen එක යටමයි. ඉතිං පැය දෙකක්ම උඩ බලාගෙන තමයි ඉන්නෙ. කාජල් ගෙ ගවුම උඩ යනවත් පේනව... 😩😩

ෆිල්ම් hall ගැන කියද්දි මේකත් නොකියම බෑ. ඉස්සර අනුරාධපුරේට තිබ්බෙ එක ෆිල්ම් hall එකයි. ඒ දවස් වල ෆිල්ම් ඇඩ් මතක අයට "විජේන්ද්‍රා අනුරාධපුර" කිව්වම මතක් වෙන්නෝනෙ. අපේ ඉස්කෝලෙ එකෙක් හිටිය ඌට කවදාවත් අපිත් එක්ක හොරෙන් ෆිල්ම් එකක් බලන්න යන්න උනේ නෑ. මොකද උගෙ තාත්තා තමයි විජේන්ද්‍රා එකේ ටිකට් කවුන්ටරේ හිටියෙ... විජෙන්ද්‍රා එකේ මැද තිබ්බ විසාල ලී කණු. බැරි වෙලාවත් මේ කණුවක් පිටිපස්සෙ පුටුවක් අහු උනොත් ඉතිං අපරාදෙ සල්ලි. දකුණු පැත්තෙ ඉදන් සල්මාන් ගහන පාර වදින්නෙ කාටද කියල බලන්න කණුවට වම් පැත්තෙන් එබෙන්න ඕනෙ. 👊👊


තව සෑහෙන්න කියන්න තියනව. ඉවර කරන්නත් ඕනෙ හින්ද තව පොඩි අතුරු කතාවකින්ම ඉවර කරන්නම්. දවසක් අප්පච්චි මට ගෙනත් දුන්න හින්දි ෆිල්ම් එකක්. සෑහෙන කාලයක් යනකංම මට ඒකෙ නම මතක තිබ්බෙ "තෙරේ මෙරේ බානියා" කියල. ඒකෙ හිටිය බල්ලෙක්. ඌ උගෙ ස්වාමියාට, ඒ කියන්නෙ ෆිල්ම් එකේ කොල්ල ට, නිකන් බල්ලෙක්ට කරන්න බැරි තරමේ උදව් පදව් කරනව. කොල්ලට කවුරු හරි ගහන්න අවම බල්ල තමයි ගේම දෙන්නෙ. අපේ ගෙදරත් හිටිය බල්ලෙක්. මම ඌට මේ බල්ල කරන දේවල් පුරුදු කරන්න ගිහින් උට මළ පැනල ගියා ගියාමයි ආයෙ ආවෙ නෑ! පස්සෙ මම මේ ෆිල්ම් එක සෑහෙන කාලයක් හෙව්ව. නම search කරාට හම්බ උනේ නෑ... පස්සෙ අහම්බෙන් වගේ මේ මෑතකදි හම්බ උනා... බලනකොට ඒකෙ හරි නම "තෙරේ මෙහෙරබානියා" කියහංකො! ඉතිං ආයෙත් බැලුව. කිව්වට විස්වාස කරන්න එපා, කොල්ලයි බල්ලයි හිටියා වගේමයි!! 

8 comments:

  1. මුලින්ම මධුරිගේ ආකර්ෂණීය හිනාවට වහවැටුනා. දිවාලි දුල්හානියා ලේ ජායින්ගේ එකේ කාජල් වැස්සේ නටපු හැටි කිහිප වාරයක් බැලුවා. එල

    ReplyDelete
    Replies
    1. හෑ... ඒ කියන්නෙ කොලොම්පුරේ අනුරපුරේ කියල වෙනසක් නැතුව කස්ටිය කාජල් වැස්සෙ නටනව බලලා... හයියූ... :-s
      මේ පැත්තෙ ආවට ඉස්තූතී ඈ... :)

      Delete
  2. ඉවර කරන්නෙ මොකටෑ? තව ලියන්න. නියමයි.

    හෙහ්. හෙහ් අර බල්ලට මල පැනල ගිය කෑල්ල තමා හොඳම. අපේ බ්ලැකියව මතක් වුනා. නිකම්ම පරයා ඩෝග්. ඒ කියන්න කතා නං එමටයි.

    බ්ලොග් රෝලෙ එල්ල ගත්තා.අලුත් පෝස්ට් දැම්මාම එඤ්ඤං

    ReplyDelete
    Replies
    1. බෝම ඉස්තූතී ගොඩ උනාට...
      බල්ලට උනත් ඉවසීමෙ සීමාවක් තියනව නෙව :(
      බ්ලැකියා ගියා නම් යන්ට ඇත්තෙ බස්සො එක්ක ඉන්න බැරුව වෙන්ටැ... හෙහ් හෙහ්...
      ආයෙත් එන්ට...

      Delete
    2. නෑ, නෑ ඌ යන්න ගියේ නෑ. වංසෙ පරයා ඩෝග් වුනාට ඌ හොඳ හැදිච්ච බල්ලා. ඒත් නාන්න නං හොරයි." කෝ මේ බැලැකියා, අද නං මූව නාවන්න ඕනෙ" කිව්වාම අ"බැහ්" ගාලා උඩ පැනලා දෙනව හුරේ රන් එකක්. ගමේම ඇවිදලා ආයෙ එන්න හවස් වෙලා. උගෙ තිබ්බ නරක පුරුද්ද රෑට පාරෙ බුදියන එක. ලොරි කාරයෙක් තමා ඌව අභාවප්‍රාප්ත කෙරෙව්වෙ.

      -බස්සා -

      Delete
  3. සිරි දේවි කිව්වම සෑර් ඉතින් කතා දෙකක් නෑ ගින්දර වගේ තමයි ඉස්කෝලේ යනකාලේ නැද්ද සෑර්.
    මේ දවස්වල හැට්ටරුත් සුළුවට හින්දි ජොබක් තමයි කරගෙනයන්නේ - ටැට්ටර් රේ ප්‍යාර්කරේ.
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... ගිණි පුපුර...
      ටැට්ටරේ මේ පැත්තට හැරෙව්වට ඉස්තූතී ඕං... ආයෙ එන්ටෝනෙ...

      Delete
  4. හා හා මේක මරු.... මටත් තිබුනා ඔය හින්දි ෆිලුම් උණක් ඒ කාලේ ජයටම. මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ වෙලාවක

    https://kavisandalla.blogspot.com/2012/06/blog-post_19.html

    ReplyDelete