Saturday, December 16, 2017

අප්පච්චි

 අප්පච්චි නැති වෙලා අදට අවුරුදු 20ක්...

අවුරුදු 20ක් ම ගෙවිලා ගිහින්.

මට අප්පච්චිත් එක්ක ඉන්න ලැබුනෙ මට අව්රුදු දාසයක් වෙනකන් විතරයි. ඒ උනත් මම මගෙ මුලු ජීවිතේම ඉගෙන ගත්තෙ ඒ අව්රුදු දාසයෙන් තමයි.
මම නිතරම කිව්වට අප්පච්චි තමයි මෙ ජීවිතෙ මට ඉගැන්නුවෙ කියල, අප්පච්චි මට කවදාවත් ලඟට අඬ ගහල මොකුත් කියල දීල නෑ. ඒත් එයා දැනගෙන හිටිය මම එයා දිහ බලාගෙන ඉන්නව කියල. ඒක කියන කොට අතුරු කතාවක් මතක් උනා... ඒ දවස් වල (මම ඉස්කෝලෙ යන්නත් කලින් කාලේ) අප්පච්චි පාවිච්චි කරා "අබ්ලික්" කියල වචනයක්. මොකක් හරි වැරදුනාම "මාර අබ්ලික් එක" කියනව... (මම හිතන්නෙ සුද්දා ඔය "OBLIQUE" කියල වචනෙ හදා ගන්නඇත්තෙ අපේ අබ්ලික් එකෙන් වෙන්න ඇති :)) හරි, ඉතින් දවසක් අප්පච්චි එයාගෙ මෝටර් බයිසිකලේ මොකක් ද කරනව දැකල මම ගිහින් අහපි "අප්පච්චි, මොකක්ද අබ්ලික් එක?" කියල... අප්පච්චි එදා ඉඳන් කවදාවත් ඒ වචනෙ ආයෙ කිව්වෙ නෑ...

ඉතින්, පොඩි පොඩි බිස්නස් කරපු අප්පච්චි පස්සෙ කාලෙක ටවුමෙ හොඳ ව්යාපාරිකයෙක් උනා. ඉස්සර තිබ්බ පුස් සයිකලේ වෙනුවට එක එක වාහන ත් ගත්ත. ඒත් මිනිස්සුත් එක්ක අප්පච්චි ගෙ තිබ්බ බැඳීම වෙනස් උනේ නෑ. තමන් ට කලින් අනික් අය ගැන හිතන්න මම පුරුදු උනේ අප්පච්චි ගෙන්. අතේ තියන අන්තිම රුපියල් දහයත් හිඟන්නෙක් එක්ක බෙදා ගන්න මම පුරුදු උනේ අප්පච්චි ගෙන්. ඒ එයා මට කියල දීල නෙමෙයි. එයා කරනව බලන් ඉදල. මට මතකයි, අනුරාධපුරේ තෙල් පිරිපහදුවට කොටි ගහපු වෙලාවෙ අප්පච්චි මාවයි, අක්කලා දෙන්නවයි, අම්මවයි හතර පාරකට පුස් සයිකලේ තියන් ගිහින් ඒක පෙන්නුව. 88 - 89 කාලෙ පාරෙ යනකොට අප්පච්චි කවදාවත් අපේ ඇස් වැහුවෙ නෑ. "රටේ මේ වගේ කාලයක් තිබ්බ කියල උඹලට මතක තියෙන්න ඕනෙ" ඒ අප්පච්චි ගෙ වචන...

අප්පච්චි නැති උනාට පස්සෙ එයා හම්බ කරපු මොකවත් එයාගෙ මේසෙ ලාච්චුවෙ තිබ්බෙ නෑ... ඒ වෙලාවෙ අම්ම අසරණ වුන හැටි, ඒත් එ අසර්ණ කමට පයින් ගහල අපිවත් උස්සගෙන නැගිට්ට හැටි කියන්න නම් තවත් මෙ වගේ දිග පෝස්ටුවක් ලියන්න ඕනෙ. කොහොම හරි, අප්පච්චි හම්බ කරපුව අපි දැක්කෙ පාර තොටේදි. කොහෙ හරි යන්න බස් එකකට නැග්ගත් කොන්දොස්තර අම්මට කියනව "ආ බන්ඩාර මහත්තය ගෙ නෝන නේද, සල්ලි එපා..." කියල. අප්පච්චිගෙ මරණෙට ආණ්ඩුවෙ ලොකු ලොක්කන් ගෙ ඉඳන් මර්කැට්ටුවෙ මුට්ට කර ගහපු නන්දෙ අය්ය වෙන කන් මිනිස්සු ආව.  ගොඩක් මිනිස්සු ඇඬුව. මැරුනෙ උබලගෙ අප්පච්චි නෙමෙයි... මැරුණෙ අපි... කියල මිනිස්සු කිව්ව. ඒ තමයි අප්පච්චි හම්බ කරපු දේ... එහෙම තමයි අපෙ අප්පච්චි මැරිලත් අපිට ජීවත් වෙන්න ඉගැන්නුවෙ...

කොහොම උනත්, මගෙ අනාගතේ ගැන ලොකු බලාපොරොත්තුවක් අප්පච්චිගෙ තිබ්බ බවක් නම් ඒ කාලෙ පෙනුනෙ නෑ. මම ඒ කාලෙ වැඩ කරෙත් එහෙම බලාපොරොත්තු තියා ගන්න පුලුවන් විදියට නෙමෙයි නෙව... මම ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච දවසෙ අප්පච්චි ගෙ මූණෙ තිබ්බ පුදුමෙ මට අද වගේ මතකයි. ඒත් ඊට පස්සෙ මම O/L, A/L පාස් වෙනව බලන්නවත් අද මගෙ නම පිටිපස්සෙ තියෙන අකුරු ගොඩ ගන්නව බලන්නවත් අප්පච්චිට ඉන්න බැරි උනා... එව්ව දැක්කෙ නැතත් අප්පච්චි ගෙ පපුවෙ තිබ්බ මනුස්සකමෙන් පොඩ්ඩක් හරි මගෙ පපුවෙත් තියනව කියල අප්පච්චි දැක්ක නම් කියල හැමදාම හිතෙනව...

කාලයක් තිස්සෙ පටං ගන්න හිතං හිටපු බ්ලොග්ගුවත් අද පටං ගන්නෙ අප්පච්චි ගැන කියල.  පළවෙනි පෝස්ටුව ම අප්පච්චි ගැන ලියන්න හිතුවෙ අප්පච්චි ගැන නොකිය මේ කිසිම කතාවක් කියල තේරුමක් නැති හින්ද. මම මේ ලියන්න හිතන් ඉන්න හැම කතාවක් පිටි පස්සෙම තියෙන්නෙ මම අප්පච්චි ගෙන් ඉගෙන ගත්ත මොකක් හරි එකක්. ඉතින් ඉස්සෙල්ලම එයා ගැන නොකිය කොහොමද...

අප්පච්චි මට නම් ඉවර වෙන්නෙම නැති කතාවක්....

2017 - 12 - 16