Tuesday, February 20, 2018

විරහ පල් හෑලි


ඉස්සර අපිට තිබ්බ ලඟම මාධ්‍ය තමයි ලියන එක. අපිව සිංදු කියන්න වත් රඟපාන්න වත් ගත්තෙ නැති හින්දා අපි අපිට ඕනෙ එව්ව කිව්වෙ ලියලා. හිතට එන ඕනෙම දෙයක් ලියලා පත්තරේට හරි රේඩියෝ එකට හරි තැපැල් කරපු කාලයක් තිබ්බා. ඒ යවපුව කියවයි ද කියල බලන්න රෑ වෙනකං රේඩියෝ එක කණේ තියාගෙන හිටපු හැටි, හැම සති අන්තෙම පත්තරේ එනකං බලං හිටපු හැටි තාම මතකයි.

අක්කලා දෙන්නටම පුළුවං කවි ලියන්න. මට නම් ලියවෙන්නෙම මේ වගෙ පල් හෑලි. කවියකින් කියන්න ඕනෙ ඔක්කොම කියන්න බෑ කියලයි මට හිතෙන්නෙ. විරහවත් රසයක් කියල කව්දෝ කිව්වට අපිට ඕක හරියටම දැනෙන්නෙ 90 ගනන් වල අග හරියෙ. ඒ කාලෙ ආපු ඔක්කොම සිංදු, නවකතා වල තිබ්බෙ ඕක. ඉතිං මටත් ඕනෙ උනා විරහ පල් හෑලි ලියන්න. ඒ දවස් වල මේ වැඩේ ජයටම කරපු කීප දෙනෙක් හිටිය. සුගත් මොරගහකුඹුර, ප්‍රගීත් රත්නායක, සුජීව පරසන්නාඅරච්චි, දිනේශ් කොලඹගේ වගේ කස්ටිය. සන්නස්ගලත් අමතක කරන්න බෑ. මෙව්ව කියවල කියවල නැති විරහවක් ඔලුවට ගහල තිබ්බ කාලෙක ලියපු එකක් තමයි ඔය පහල තියෙන්නෙ. මේක ලියවුනේ 2001 විතර. A/L ඉවර වෙලා library එකේ පදිංචි වෙලා හිටපු කාලෙ.... උඩ තියෙන්නෙ පත්තරේ ගියපු එකේ පොටෝ කෑල්ලක්. බලමුකො ඉතින් කොල්ල කොච්චර මානසික පීඩනයකින්ද ඉඳල තියෙන්නෙ කියල... විලි ලැජ්ජාවෙ සංතෝසෙ බැරුවා... 🙈🙈

".... මේ, ඔබ නැතිව ගෙවී යන සිව් වන වසරයි. කාලකන්නි කම ජීවිතේ සහේට ගෙන ඇත. දිවා රෑ නොබලා මම මරණය යැද්දෙමි. එහෙත් කඳුලු වලට දිය වෙන හිතක් මරණයට නැත. මහා වාළුකාව පරදවන මාගේ කඳුළු ගඟ වියලන්නට මරණය තවමත් නොආවේ මම තවත් ජීවත් විය යුතු නිසා යයි සිතුවෙමි. දැනුදු සිතමි. නුඹේ ආදරය වෙනුවෙන් උමතු වී ඒ වෙනුවෙන්ම මියැදෙන්නට මට අයිතියක් ඇත්තේය. ඒ අයිතිය වෙනුවෙන් මම තව දුරටත් ජීවත් වෙමි...
කුමන ඉසව්වක නුඹ සිටිත් දැයි මම නොදනිමි. එහෙත් නුඹ ජීවත් වන බව පමනක් දනිමි. සැබැවින්ම, මගේ නෙතින් ඇද වැටෙන නුඹේ කඳුලක සීතල, මගේ මුවින් විසි වෙන නුඹේ සුසුමක උණුහුම දැනෙන ඉසව්වක නුඹ ජීවත් විය යුතුය. නුඹේ සිනා හඬ නිරන්තරයෙන්ම මට ඇසෙන සේම, මගේ ඉකි හඬ සිහිනෙන් පවා නුඹේ දෙකන් තුල රැව් දෙන මායිමක නුඹ සිටිය යුතුය. මාගේ ආත්මයේ මියැදීම වෙනුවෙන්, මාගේ ඒක පුද්ගල අධිකරණය නුඹට දෙන ආදරණීය දඬුවම එයයි...
ඉතිහාසය, මෙනෙහි කිරීමට තරම් නොවටනා දෙයකි. එහෙත් මට සිහි වන්නේම එයම පමණි. ඒ, අතීතයේ සෑම අඟලකම නුඹේ මතකය තැවරී ඇති බැවිනි. නුඹේ ආදරය වෙනුවෙන් මා කළ අනන්ත කැප කිරීම් අකුරු කරන්නට මට අවශ්‍යය. එසේ අකුරු කරන මගේ ජීවිතය, කොහේ හෝ සිට ඔබ කියවත් ද, නිසැකවම නුඹ හඬනු ඇත. එසැනින්ම, ආදරය වෙනුවෙන් නැගෙන කඳුල කෙතරම් උතුම් දැයි නුඹ වටහා ගනු ඇත...
මම තවමත් නුඹ විශ්වාස කරමි. ආදරයේ අමරණීය බව මා අත්දුටු බැවිනි...."

😍🙈🙉🙊 පික්ෂු කොර 🙏👀💥💦


Tuesday, February 6, 2018

වැලංටයිං


ඔන්න ආවා පෙබරවාරි. කූඹියෝ බලද්දි දැක්ක සෝස පාට ඇඩ් එකක් හින්ද මතක් උනා වැලන්ටයින් දවසත් ලග ලගම එනව නේද කියල. ඉතිං මොකුත් නොලියත් බැරි හින්දා ඕං ලියනව අපේ කාලෙ වැලන්ටයින් ගැන.

ඔය වැලන්ටයින් දවස ගැන හරියටම අපේ ඔලුවට වැටෙන්නෙ අපි 10 වසරෙ වගේ ඉන්නකොට. නම නම් එච්චරම ඇල්ලුවෙ නැති උනත් ආදරවන්තයින් ගේ දවස කියන්නෙත් මේකටම කියල දැන ගත්තම ඔන්න අපේ උනන්දුව ටක් ගාල වැඩි උනා. අපේ ඉස්කෝලෙ පිරිමි ඉස්කෝලයක් හින්ද මේ දවස් වලට නිකන් කඩි ගුල වගේ තමයි. මුලු ඉස්කෝලෙම කොටස් දෙකකට බෙදෙනව. ආදරවන්තයෝ සහ ආදරවන්තයන් ගෙ යාළුවෝ. ඔය අස්සෙ කිසි දේකට එන්නෙ නැති මෙලෝ රහක් නැති එවුනුත් ඉන්නව. ආදරවන්තයො බිසී කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන තමංගෙ කෙල්ලට මොනව හරි ගන්න. උංගෙ යාළුවො ඊට වඩා බිසී ගන්න එව්ව කොහොමද අදාල කෙල්ලට ගිහින් දෙන්නෙ කියල ප්ලෑන් කරන්න. කොච්චර ප්ලෑන් කරත් ගොඩක් වෙලාවට අන්තිමට වෙන්නෙ පාර අයිනෙ බලං ඉදලා කෙල්ල ඉස්කෝලෙ ඇරිල එනකොට අර අමාරුවෙන් ගත්ත තෑග්ග දෙන එක. එහෙම දෙනකොටත් අර යාළුවො ටික වටේට මුර. උංටත් වැඩක් තියෙන්න එපායැ. තව සමහරු හිටිය කෙලින්ම යනව අපේ බාලිකා පාසැල ඉස්සරහටම. ගිහින් ඔක්කොටම පේන්න තෑගි හුවමාරු කර ගන්නව. ඒක දවස් වල සෑහෙන්න ලොකු වැඩක්. "අරූ බැස්ස සෙට් එකත් එක්ක කොන්වන්ට් එක ඉස්සරහටම" කියල අනික් උං ලියනව චරිත සහතිකේ. තවත් සමහරු හිටිය බාලිකා පාසැල ලගට ගිහින් නවතින්නෙ නෑ... උං පනිනව තාප්පෙන් ඒක ඇතුලට! එහෙම පැනල අහු වෙලා ශිෂ් නායක පදක්කම් පවා ගැලවුන කස්ටිය හිටිය අපිත් එක්ක... 😅😅

ඉස්සර අපි තෑගි කියල ගන්නෙ බොහොම පොඩි දේවල්. මොකක් හරි දෙන්න තමයි ඕනෙ උනේ. ඔන්න ඉතිං මමත් ගත්ත ඉස් ඉස්සෙල්ලම තෑග්ගක් වැලන්ටයින් එකට. ගත්තෙ ෆ්රේම් කරපු පොටෝ එකක්. ඔය උඩ තියෙන්නෙ පොටෝ එක තමයි... සෑහෙන්න අමාරුවෙන් අන්තර්ජාලයෙන් හොයා ගත්තෙ... කොහොම හරි ඉතිං ඒක දී ගන්න බැරි උනා... අසුභයි... පස්සෙ වැඩේ එහෙම්ම දිය වෙලා ගියා... දිය වෙන්න කලිං දරුවා මට දුන්නා තැඹිලි පාට පෑනක්. ඕං ඔව්ව තමයි අපේ තෑගි. දැන් නම් පෑනක් දුන්නොත් ඉතිං වැලන්ටයින් සාමි පිහිටයි...

මට හිටියෙ අක්කලම දෙන්නෙක් හින්දා වැලන්ටයින් කාලෙ මට වාසි අවාසි දෙකම තිබ්බ. වාසි කිව්වොත් මට මුළු අවුරුද්දම වැලන්ටයින් වගේ තමයි. උං දෙන්න පස්සෙං යන කොලු කුරුට්ටො ඉස්සෙල්ලම එන්නෙ මගෙ පස්සෙං. කෑම බීම කිසි අඩුවක් තිබ්බෙ නෑ මට. අවාසි කිව්වොත්, අපේ උන් දෙන්නම ඉස්කෝලෙ ශිෂ් නායකයො. ඉතිං මම වැරදිලාවත් ඉස්කෝලෙ පැත්ත පලාතකවත් ගියොත් දෙන්නටම ආරංචි වෙනවා. ඉස්කෝලෙ ටීචර් කෙනෙකුට අහු වෙලා "... පුතා අක්ක හම්බ වෙන්නද" කියල අහපු වෙලාවලුත් නැතුවම නෙමෙයි. අනික තමයි අර තාප්පෙන් පනින උන් අහු උනාම උන් මගෙත් එක්ක තරහ වෙනව හරියට මම අක්කලට කිව්ව වගේ උං අල්ල ගන්න.

කොහොම හරි පස්සෙ කාලෙක වැලන්ටයින් දවස වාණිජකරණය වෙන්න පටං ගත්තා. මේ වෙනසේ මූලික පියවර මට හිතෙන හැටියට 90 ගණන් වල අග තිබ්බ සන්නස්ගල ගෙ "ආදර වැස්ස". විහාර මහා දේවී එකට කොල්ලො කෙල්ලො ගෙනල්ල නටපු නැටුම දවස් වල සෑහෙන්න ප්රසිද්ධ උනා. මේකට කස්ටිය ගෙන්න ගන්න සන්නස්ගල මරු උපායක් දැම්මා. තමයි, මේ ආදර වැස්සෙ තෙමෙන්න එන එවුන්ගෙන් හොදම ජෝඩුව තෝරල උන් දෙන්නට සන්නස්ගලගෙ ආදරණීය වස්සානය චිත්රපටියෙ ප්රධාන චරිත දෙක දෙනව කියල. මේක අහල මමත් සෑහෙන්න දුක් උනා කොළඹ හිටිය නම් ගිහින් හොදම ජෝඩුවට තේරෙන්න තිබ්බ නේද කියල. ඒත් ජෝඩු දාල යන්න එකෙක් නෑ නේද කියල මතක් උනේ පස්සෙ. කොහොම හරි චිත්රපටිය බලනකොට තමයි තේරුණේ එදා චතුරිකා පීරිසුයි රොශාන් රවීන්ද්රයි දෙන්නත් ආදර වැස්සෙ තෙමෙන්න ඇවිල්ල හොදම ජෝඩුවටත් තේරිල කියල. මොකද උන් දෙන්න තමයි ඒකෙ හිටියෙ... හොර ගෙඩියො....

ඉතිං කාලෙත් එක්ක කොහොම වෙනස් උනත් මුදලාලිලාගෙ උගුල් වල වැටෙන්නෙ නැතුව කාටවත් කරදරේකුත් නැතුව පස්සෙ කාලෙක මේ වගේ මතක් කරල සතුටු වෙන්න පුලුවන් විදියට මේක සමරනවා නම් හොදයි නෙව.
එහෙනම් ඔක්කොටෝම ශ්රී සුභ වැලන්ටයින් මංගල්යයක් වේවා! සියලු දෙනාටම වැලන්ටයින් සාමි පිහිටයි!