Wednesday, July 22, 2020

... ලියුං, ටැලිපෝං සහ සැල්පෝං ...






"නුවරගෙදර" කියන්නෙ බුකියෙ මං ආසම ලියන්නෙක්. මේ හෑල්ල මතක් වෙන්නෙ නුවරගෙදර ලියපු ඔය උඩ තියන කවිය දැකල. මිනිහ කිව්වට හම්බෙනකල් ඉවසං ඉන්ට, ඒක එච්චර ලේසි නෑ....

ග්රැහැම් බෙල් ටැලිපෝං එක හොයා ගත්තෙ 1817 උනාට ඊට අවුරුදූ 150කටත් පස්සෙ තමා අපිට ඕක සැට් වෙන්නෙ. ඊට කලිං අපේ මාද් උනේ ලියන එක. වැඩිපුර ලිව්වෙ ලියුං. පස්සෙ කාලෙ පත්තරේටත් ලිව්ව... ඉස්සෙල්ලම ලියුං ලිව්වෙ රට හිටපු අපේ මාමා . අම්ම ලියන එකේ අග හරියෙ පේලි දෙක තුනක් ලියනව. එක පාරක් මං පැන්සලෙන් ලියන එක නවත්තලා පෑනෙන් ලියන්ට පටං ගත්තා කියල මාමට ලියල යැව්වෙ හෙන ආඩම්බරෙන්... ඉස්කෝලෙට ඇතුල් වෙන්ට කලිං, බොහොම සූටි කාලෙ මම හිටියෙ අපෙ අම්මගෙ ගමේ. එහෙට වාහනේකට කියල එන්නෙ ලියුංකාරයා ගෙ පුස් සයිකලේ විතරයි. මිනිහ රූං ගාල ඇවිල්ල, කකුලක් බිම තියල, බැල් එක ගහල ලියුම දෙන එක මට හෙන ලොකු වැඩක්... කොච්චර ලොකු ද කිව්වොත් එක වසරට ගිහිං අතුකෝරළ මිස් ලොකු වෙලා කව්ද වෙන්ට කැමති කියල අහනකොට මම කිව්වෙ ලියුංකාරයෙක් කියල!
පස්සෙ ඔන්න ලියන්ට ගත්තා ගෑල්ලමයින්ට. මං ලියන්ටත් කලිං හම්බුනා මට ලියපු එකක්. එතකොට මං පහ වසරෙ කියහංකො!! ගෑල්ලමය හිටියෙ අපෙ අක්කලගෙ ඉස්කෝලෙ (නං ගං මෙන්සන් කරල අපහසුතාවයට පත් කරන්ට තරං දරුණු නෑ අපි ). එක ලියුමයි මට හම්බුනේ. අනික්වා මේ ළමයා වැඩි පරිස්සමට අපෙ අක්කට දීල මට දෙන්ට කියල, උන්දැ එව්ව අම්මට දීලා... වැඩේ ඉවරයි! ඊට පස්සෙ අවුරුදු පහක නිහැඬියාවකින් ආයෙ ලීවෙ 10 වසරෙදි.  ලිව්වට දෙන්ට බෑ... අත වෙව්ලනවා, හිත ගොලු වෙනවා... ඔන්න දහම් පාසැල් ගිහිං එන අතරෙ ගෑල්ලමයට පේන්ට දැම්ම ලියුම බිම. එයත් අහුල ගත්ත වට පිට බලල... දැං ඉතිං සතියක් බලං ඉන්ටෝනෙ උත්තරේ ගන්ට... නුවරගෙදර කිව්වට ඒක ලේසි නෑ... ඔන්න ඊලඟ සතියෙ දහම් පාසැල... ම්හ්ම්ම්... උත්තරයක් නෑ... ගෙදර යන ගමං ගියා පස්සෙං... වැඩක් උනේ නෑ... පස්සෙ තමා දැන ගන්ට ලැබුනෙ එයත් මගේ තියරියටම බිම දාලා ලියුම... මං දැකල නෑ!! ගෑල්ලමයි එක්ක විතරක් නෙමෙයි, -ලෙවල් වලිං පස්සෙ පංතියේ යාලුවො එක්කත් ලියුං වලිං තමා කතා කරේ. පුරුද්දක් විදිහට යාලුවන්ට ලියපු ලියුං වල මම නම ලියන්නෙ නෑ. හින්දා තමංගෙ අහිංසක දරුවට කුණු කතා ලියල එවන්නෙ කව්ද කියල අම්මල තාත්තලට හොයා ගන්ට බැරි උනා... දවසක් පොලොන්නරු පැත්තෙ යාලුවෙක් ගෙ තාත්ත කෙනෙක් මගෙ ලියුමක් කියවල "දෙමව්පියංගෙ සල්ලි නාස්ති කරන කාලකණ්ණි..." කියල මගෙ ගුණ කථනයක් කරා කියල උගෙ පිලිතුරු ලියුමෙ ලියල තිබ්බ...

ඉස්සිස්සෙල්ලම ටැලිපෝං එකකින් කතා කරන්නෙත් අපේ රට ගිය මාමට තමා. ඉස්සර හැම තැනම ඔව්ව නෑ. ගෙවල් කීපයක විතරයි තිබ්බෙ. අපි දන්න ටැලිපෝං එකක් තියන කෙනෙක් හිටියෙ අනුරාධපුරේ ශාලිනී ගෙස්ට් එකේ හර්ශ අයියා... මාමා අපිට කතා කරන්ට ඕනෙ උනාම එහෙට කතා කරල කියනව අහවල් වෙලාවට ආයෙ කතා කරනව අපිට ඇවිල්ල ඉන්ට කියල. හර්ශ අයියා තකහනියෙ ඕං එනව අපිට පණිවිඩේ දෙන්ට. අපි ඉතිං කිව්ව වෙලාවට යනව එහෙ... මාමට එයාගෙ පවුලෙ උදවියට කතා කරන්ට මීටත් වඩා අමාරු උනා... එහෙ ටැලිපෝං තියා ලයිට් වත් තිබ්බෙ නෑ... ඉතිං මාමා කතා කරේ පෝස්ට් ඔපිස් එකට. නැන්දයි, නංගියි, මල්ලියි එතෙන්ට ගිහිං ඉන්නව. ඔන්න දවසක් මාමා ටැලිපෝං එකෙං මල්ලිගෙං අහනව "මං එනකොට පුතාට කාර් එකක් ගේන්ට " කියල... අරූ ගොබිල වගේ ඔලුව වනනව, උගෙ හිතේ මාමට ඌව පේනව කියල! ඔන්න පස්සෙ කාලෙක අපේ අප්පච්චි දානව හෝටලයක්. අනුරාධපුරේ බොහොම පුරසිද්ද වෙච්ච ක්රවුන් චයිනීස් හෝටලේ තමා ... ඔන්න ඒකෙ තියනව ටැලිපෝං එකක්!! මට ඉතිං ඊට වඩා දෙයක් නෑ. නොම්මරේ තමා 2771. දවස් වල තිබ්බෙ නොම්මර හතරයි. පස්සෙ තමා එක එක එකතු වෙලා දහයක් උනේ. ටැලිපෝං එක හම්බුනාට පස්සෙ තමා මතක් උනේ ඒකෙන් කතා කරන්ට කවුරුත් නෑ කියල! ඉස්කෝලෙ එවුන්ට තිබ්බෙත් නෑ. නුවර නැන්දලා දෙන්නෙක්ට තිබ්බ... එව්වගෙ නොම්මර තාම මතකයි... 32609 දොඩම්වල සමුද් නැන්දා... 88641 අඟුණාවල මානෙල් නැන්දා... අහ්හ් අර ලියුම බිම දාපු ගෑල්ලමයා, එයා 21**5... දැං ඔව්වට කෝල් කරල කරදර කරනව එහෙම නෙමෙයි! සූටි කාලෙ. පස්සෙ ඉතා අවාසනාවන්ත විදිහට අපි ලොකු උනා! ගෙදරින් පිට ඉන්න උනා... කාලෙ අපේ පිහිටට ආවෙ ටැලිපෝං බොක්ස්. වැඩි හරියක් මෙව්ව පාවිච්චි කරේ මිනිස්සුන්ට කරදර කරන්ටමයි! සත්තු වත්තෙන් පැනල ආපු කොක්කු, මුවෝ, අලි ඔය පැත්තෙ ආවද කියල අහන්ට දෙකේ කාසි සෑහෙන්ට නාස්ති උනා... දවස් වල නුවර මහමායාවෙ හිටිය කුරුල්ලෙක් ගෙ නමක් තියන ගෑනු දරුවෙක්. මෙයාගෙ අම්මට බොහොම ඉක්මනට තරහ යනව. අපි ඉතිං ටැලිපෝං බොක්ස් එකකින් කතා කරල අම්මගෙන් අහනව දුව කෝමද, හොඳින් , කවද්ද අපිට දෙන්නෙ වගේ අහිංසක ප්රස්න. වෙලාවවට අරිසෙං අහුබුදු වත් දන්නෙ නැති සිංහල ටිකක් අම්ම අපිට කියල දෙනව.... කැම්පස් ගියාට පස්සෙ නං සම්පූර්ණ සන්නිවේදන කටයුතු උනේ පෝංබොක්ස්  හරහා තමයි. දවස් වල රෑ නමයෙන් පස්සෙ රුපියල් 5 විනාඩි 9ක් කතා කරන්ට පුලුවන්. හොස්ටල් එකේ පෝංබොක්ස් එක ඉස්සරහ පෝලිමේ හිටපු හැටි මතක් වෙනකොට නං හිතෙනව නුවරගෙදර කියන කතාව හරි කියල....

අපි ඉස්කෝලෙ දහයෙ වගේ ඉන්නකොට අපෙ ලොකුඅප්පච්චිගෙ ලොකු පුතා ටවුමෙ හොඳ බුසිනස් කාරයෙක්. අපි ලොකු අයියා කියල කිව්වට මිනිහ ලොකුඅප්පච්චිට වඩා පොඩ්ඩයි බාල මගෙ හිතේ... දවසක් අපේ අප්පච්චි ගෙනාව මාර නිවුස් එකක්. ලොකු අයිය අතේ ගෙනියන්ට පුළුවං පෝං එකක් ගෙනැල්ලලු! අතේ ගෙනියන එකක් තියා බිම තියන එකක් වත් නැති කාලෙ... දකිනකං සිහියක් නෑ... කොහොමද ගෙනියන්නෙ, වයර් එක ඔතා ගෙනද යන්නෙ, නොම්මර කරකවන්නෙ කොහොමද... සෑහෙන ප්රස්න... දවසක් ඕං ලොකු අයිය එනව තඩි ගඩොලකුත් අරගෙන. ලඟට ආවම තමා දැක්කෙ, අර අතේ ගෙනයා හැකි දුරකථනය!  ලොකු අයිය හයේ හතරෙ ඩෑල් එක හින්ද හොඳා, නැත්තං ඒක ගෙනියන්ට වීල්බැරෝවක් වත් ඔනෙ වෙනව! මෙව්වට කිව්වෙ සෙල්ටෙල් කියල... සෑහෙන කාලයක් යනකං හැම සැල්පෝං එකකටම අපි කිව්වෙ සෙල්ටෙල්. ඊට පස්සෙ කාලෙක වගේම ගඩොල් බාගයක් තිබ්බ අපේ පංතියෙ යාලුවෙක් . මිනිහට කිව්වෙ සෙල් පැණියා කියල... මටම කියල ඉස්සෙල්ලම සැල්පෝං එකක් දුන්නෙ අපේ ඉතාලියෙ ඉන්න ගෝතමී නැන්දා... ඒක මගෙ ලඟ තිබ්බෙ අවුරුද්දයි. කැම්පස් එකේ කක්කුස්සියක දාල ඇවිල්ල නැති උනා... පස්සෙ ඉතිං රස්සාවක් කරනකම්ම ඉන්ට උනා මටම කියල එකක් ගන්ට! දවස් වල කැම්පස් එක පුරාම හිටිය එක එක පෝං කොම්පැනි වල ඒජන්තයො. හොස්ටල් එකේ හිටපු පොරමොලා තමයි මොබිටෙල් ඒජන්තයා... අපි ඌට කිව්වෙ ඒජන්ට් පොරමොලා කියල (ඒජන්ට් ෆොක්ස් මෝල්ඩර් වගේ)... මොකා ඒජන්ත උනත් අපි රෑ නමයට හොස්ටල් එකේ බොක්ස් එක ඉස්සරහ පෝලිං ගැහෙන එක නැවතුනේ නෑ...

අද ඉතිං ස්මාර්ට් පෝං ලඟ තිබ්බට අපි ආපු ගමන සෑහෙන්ට දුරයි. දෛයිවයේ මොකක් හරි එහෙකට මම අද ඉන්නෙ ඔය නුවරගෙදර කියන ග්රැහැම් බෙල් එයාගෙ අවසාන කාලෙ ගත කරපු ගම් පලාත වෙච්ච කැනඩාවෙ නොවා ස්කෝශියා කියන පළාතෙ! මෙහෙ තියනව බෙල් වෙනුවෙන්ම එයාගෙ ගමේ හදපු කෞතුකාගාරයක්. ටැලිපෝං එක විතරක් නෙමෙයි, එයා හදපු, හොයා ගත්තු බොහොමයක් දේවල් එතන තියනව... එයා හදපු HD-4 Hydrofoil කියන අධි වේග මුහුඳු යාත්‍රාවත් ඇතුලුව!!



Monday, June 24, 2019

සිහින හොරු අරන්



සිහින තවමත් නිරුත්තරය... මොහොතකට පෙර දුටුවේ ජීවිතයේ නැවත කිසිම දිනෙක දකින්නට බලාපොරොත්තු නොවූ දෑසක් ය. කලකට පෙර බොහෝ අසීරුවෙන් අත්හැර දැමූ දෑසක් ය... මේ මොහොත වන තුරුම සිහින ට තිබුණේ හදා ගත් සිතක් ය. ඒ, ඇය සතුටින් යැයි ඔහු සිතූ නිසාය. එහෙත්, මොහොතකට පෙර දුටු දෑස් තුල සතුටක සේයාවකඳු නොවීය... බසය ඉදිරියට ඇදෙනවාට වඩා වේගයෙන් සිහින අතීතයට ඇදී ගියේය...

ඇය මිහිලි... සිහින ට මිහිලි ව මුණ ගැහෙන්නෙ කැම්පස් යන්න ඇවිල්ල කාත් කවුරුත් නැතිව කොළඹ අතරමං වෙලා ඉන්න කාලෙක. එකම නොම්මරේ ගහගෙන පාරෙ දෙපැත්තටම බස් යන කොළඹ, කොයි පැත්තට යන්නද කියල තෝර ගන්න තරම් සිහිනට තේරුමක් තිබ්බෙ නෑ. පාර අහන්න සිහින තෝර ගත්තෙ බස් හෝල්ට් එකේ කෙලවරක හිටපු පුංචි කෙල්ලෙක් ව...

"නංගි, කැම්පස් එකට යන්න මෙතනින් 10 බස් එකේ නැග්ගොත් හරිද?"
"ඔව් අයියේ..."

උත්තරේ ලැබුනත් සිහිනට කතාව නවත්තන්න හිතුනෙ නෑ...

"නංගිත් කැම්පස් එකටද යන්නෙ?"
"නෑ අයියෙ, මම ක්ලාස් ගිහින් එන ගමන්"

මේ කතාව අදින් නවතින එකක් නෑ කියල සිහිනට හිතුන...

"මම නංගි සිහින..."
"මම මිහිලි..." 

කෙල්ල පුංචි උනාට නම බොහොම බරයි. ඒ, සිහින ට ජීවිතයේ බොහෝ පාඩම් කියා දුන් කතාවක ආරම්භයය. එතැන් පටන් බොහෝ කාලයක් යන තුරුම ඔවුනගේ දෙඇස් ද, දෙ අත් ද අසීමිත ආදරයකින් එකිනෙක පැටලී තිබිණ. නන්නාදුනන පොළොවක් මත දිය වෙමින් තුබූ සිහිනගේ ජීවිතය යලි ගොඩ නැගෙන්නේ ඒ ආදරය මතින්ය. පුරා වසර හතරක්... ඔහු ඇගේ සෙවනැල්ල සේ සිටියේය.... මේ කාස්ටක කොළඹ පොළොවත්, ගිණි ගහන අහසත් සාක්ෂි ය... ඔහු ඇයට සබැවින්ම ආදරය කළේය...!

... සිහින විශ්ව විද්‍යාලය ජය ගනිමින් තිබෙන අතරක, මිහිලි දෙවරක් ම උසස් පෙළ අසමත්ව තිබිණි... ඒ සෑම අසීරු මොහොතකම ඇය පිටුපස සිටි සිහිනය ඔහු ය...

"ඒ ලෙවල් පාස් උනා කියල ඔයා කැම්පස් යන්න ඔනෙත් නෑනෙ නංගි. හෙට අනිද්ද මම පාස් අවුට් වෙලා ජොබ් එකක් කරද්දි ඔයාට මහන්සි වෙන්න ඕනෙ නෑ..."

නැගී සිටින්නට ශක්තිය අවශ්‍යයම මොහොතක ඇයට එය ලැබුණේ ඔහුගෙන් ය... 
අනාගතය සඳහා සූදානම් වියයුතු බව සිහිනට දැනෙන්නේ දැන් ය. එතැන් පටන් සිහින මුලු කාලයම යෙදවූයේ අවසන් වසර විභාගයටය. අනාගතය උපයා ගත හැක්කේ එයින් පමණක් බව ඔහු වටහාගෙන තිබුණි. 
මේ උත්සාහය ඇය වෙනුවෙන් ජීවිතය ජය ගැනීමට වුවත්, අතර වාරයේදී ඇය මග හැරී යන වග සිහින ට වැටහුනේ නැත. එසේ වැටහුනද, ඇය දිනෙක තම උත්සාහය තේරුම් ගනු ඇතැයි සිහින සිතුවේය...
අවසන, ඔහු පළමු පෙළ සාමාර්ථයක් ද, විධායක ශ්‍රේණියේ රැකියාවක් ද සමඟ සිහිනය ජය ගෙන තිබිණි... යාමට ඇත්තේ තව ටික දුරකි. නොබෝ දිනකින් ඇය ඔහු ලඟ ය... ජීවිතය පටන් ගැනීමට ආසන්නය... 
... බලාපොරොත්තු සමඟම, නොදැනුවත්වම සිහින තරඟයට ඇතුලුවී තිබිණ. දවසේ පැය විසි හතර මදි විය. ශරීරය කාර්‍යාලයත් බෝඩිමත් අතර එහාට මෙහාට වෙන යන්ත්‍රයක් සේ විය. ජීවිතය මඟ හැරෙමින් තිබුණි... එසේ වුවද, සිහිනට තම ගමනාන්තය කිසි විටෙක අමතක වූයේ නැත. මේ දුෂ්කර ගමන කෙළවර සිටිනුයේ ඇයයි... ගමන යන්නට ඇති එකම පන්නරය ද එයයි...

".... හරිම බිසී මිහිලි"

සිහින හැමදාම කතාවට මුල පුරන්නෙ එහෙම. සිහිනට අවශ්‍ය වූයේ මේ ජීවිතයේ දුෂ්කර බව ඇයට දැනෙන්නට හරින්නට නොව, ඇයත් සමග අනාගතය පිලිබඳ කතා කර තම හිත ශක්තිමත් කර ගැනීමටය.. එය කළ හැක්කේත්, කළ යුත්තේත් ඇය සමඟම පමණි. එහෙත්...
කුමක් හෝ වෙනසක් සිදු වෙමින් පවතින බව සිහිනට වැටහෙන්නේ බොහෝ ප්‍රමාදව ය. දුරකථන සංවාද කෙටි විය.

"... පස්සෙ කතා කරන්නම් සිහින"

බොහෝ විට ඇමතුම් විසන්ධි කරන්නේ මිහිලි ය. ඔහුගේ කතාව අහන්නටවත් ඇයට උවමනා නැති සේය....!

*****

මේධා..... ඇය සිහිනගේ කාර්‍යාලයේ පිළිගැනීමේ නිලධාරිනියයි. රැකියාවට ආ දා පටන් ම තවමත් ඇය සිහිනගේ හොඳම යෙහෙලියයි. මිහිලි ට පසුව, සිහින ගේ ගමනත්, ගමනාන්තයත් හොඳින් ම දැන සිටියේ ඇයයි. සිහින ව පමණක් නොව, ඔහුගේ වචනයෙන් මිහිලි වද ඇය හොදින් ම දැන සිටියාය. ඉදින්, ඔහුගේ කතාව අසන්නට මිහිලි ට උවමනා නොවූ තැන ඔහු එය දිග හැරියේ මේධා ලඟ ය!

"... මිහිලි ගෙ මොකක් හරි වෙනසක් තියනව මේධා... මගෙන් මොකක් හරි වැරැද්දක් වෙලාද මන්දා..."

ඔහු බොහෝ සතුටින් සිටි පෙර දා කියූ දෑ අසා සිටියා මෙන්ම, බලාපොරොත්තු කඩවූ අදත් ඇය ඔහු ගේ අඳෝනාව අසා සිටියාය...
සැකයේ පළමු බීජය සිහින ගේ හිත තුල ඉන්දන්නේ මේධා ය.

"මිහිලි ට වෙන affair එකක් වත් තියනවද දන්නෙ නෑ සිහින..."

නැත. එවැන්නක් සිදුවිය නොහැක. අනාගතය ගොඩනගන්නේ සිහින වුවද එය සැලසුම් කලේ ඔවුන් දෙදෙනාමය. ඒ ආදරය බොරුවක් විය නොහැක. දෙ හිත් තුල තුබූ ආදරය දන්නේ ඔවුන්ම පමණි...
කෙසේ වුවද, එදවස සිට සිහින ගේ රැය බොහෝ දිගු විය. පසුගිය මාස කීපය තුල සිදු වූ දෑ සියල්ලක්ම එකඟ වන්නේ මේධා කියූ දේට ය. සැබෑවටම එය සිදුවිය නොහැක්කක්ද නොවේය... සැකය... එය හිතකට ඇතුලු වෙනවා පමණි. පිටවීමක් නැත...  
එකම විසඳුම ඇයත් සමඟ කතා කිරීම ය. හිත හදා ගත නොහැක්කේද එයට ය. එය එසේ වුවහොත්, ඇයට සමු දිය යුතුය! එයින් පසුව සිහිනට කොළඹ පොළොව මත ජීවිතයක් නොවනු ඇත. කෙටි හමුවීම්, ඇමතුම් බොහෝ වුවද, කිසි විටෙක කතා කළ යුතුම දෑ කතා කිරීමට සිහිනට නොහැකි වූයේ එහෙයිනි...

ඒ තීරණාත්මක සාක්ෂිය ගෙනෙන්නේද මේධා ය...

"සිහින, බලන්න මේ photo එකේ ඉන්න කවුරු හරි අඳුනනවද කියල..."

ඇය කියන්නේ ඇගේ ජංගම දුරකතනය ඔහු වෙත හරවමිනි.
මිහිලි... හඳුනා ගැනීමට තත්පරයකඳු ගත නොවිණ. බොහෝ වෙලා බලා සිටියද ඇය සමඟ ලං ලං ව සිටි තරුණයා හදුනා ගත නොහැකිය. 

"ඕක තමයි මම කිව්වෙ. විශ්වාස කරේ නෑ නෙ..." 

ඔහු කවුරුන් විය හැකිදැයි ඉඟි කළේ ද මේධා ය. අවිශ්වාසයකට ඉඩක් නැත. තිබුණ ද ඒ සියල්ල සැඟවී ඇති සේය. මෙතෙක් කල් මඟ හරිමින් සිටි මොහොත උදා වී ඇත...
සිහින ජීවිතයේ ගෙවූ අසීරුම සති කීපය ආරම්භ වී තිබිණ. ඇයට සමු දිය යුතුය. ජීවිතයෙන් පලුවක් ගලවා දමන්නට තරම් ශක්තියක් සිහිනට නොවීය. එවන් ශක්තියක් ඔහුට ලබා දීමටද කිසිම තැබෑරුමටක නොහැකිවිය. රැකියාවද අහිමි වී යන සෙයකි. අවසන, ශක්තිය කැන්දාන ආවේද මේධා ය. ඇය ඇගේ ජීවිතය තෝරාගෙන ඇති බවත්, ඇයට ඒ වෙත සතුටින් යන්නට නම් ඇයට සමු දිය යුතු බවත් සිහිනට පසක් කර දුන්නේ මේධා ය. ඒ සියල්ල සත්‍යය. මෙපමණක් දෑ කළේ ඇගේ සතුට වෙනුවෙන් ය. ඉදින්, ඇය සතුටින් නම්, තවත් කුමකට දුක් වෙන්නද... ඇයට ඉගිල යන්නට නම් අවසන් රැහැන්පට ද කපා දැමිය යුතුව ඇත...

සිහින අද ඇය දකින්නේ බොහෝ කලකට පසුවය. ඇය සොයා ගියේයැයි සිහින සිතූ සතුටක මාත්‍රයක් වත් ඇගේ දෙනෙත් තුල නොවිණි. ජීවිතයට තිබූ එකම සැනසුමද ඇය සතුටින් යැයි වූ සිතිවිල්ලය... තමාට කොහේ හෝ වැරදී ඇති සෙයකි! සිහින එක් වරම බැලුවේ මේධා දෙසය... ඇය වේගයෙන් ඇදෙන බසයේ කවුලුවකින් ඉවත බලා සිටී. දෙකොපුල් මත ගලා හැලෙන කඳුලු ය... වරදකාරී හැඟීමක සේයාවක් මුහුණ මත ලියැවී තිබිණ...





ප.ලි.
කාලෙකට පස්සෙ මේක ලිව්වෙ බෝම ලඟ යාලුවෙක් ගෙ කෙටි කතාවකට උත්තරයක් විදියට. ඒක තියනව මෙන්න මෙතන... බලලම යන්ට...

Sunday, November 4, 2018

මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...




ඉතින්... නුඹ ඇවිත්. බලාපොරොත්තු නොවුණම මොහොතක උනත්, නුඹ ඇවිත්... හරියටම මාසයක්... ජීවිත කාලයක් වගේ දැණුන මාසයක්...

මගෙ අතට එනකොට උඹ රෝස පාට පුංචිම පුංචි කෙල්ලෙක්. මම බැලුවෙ උඹෙ අම්ම දිහා... ඇඟේ තිබ්බ ලේ වලින් බාගයක්ම බිම හැලිලා කියල උන්දැට ගානක්වත් නෑ... උඹ දිහා බල අහනව,

"අඬනවද...?"

මට මතක් උනා කොහේදෝ පොතක තිබ්බ කතාවක්. දරුවෙක් කියන්නෙ අම්මගෙ බඩෙන් ආපු අම්මගෙම කෑල්ලක්. ඒත් දුවෙක් එන්නෙ තාත්තෙක් ගෙ පපුවෙන්...

මෙච්චර කාලෙකට ජීවිතේ නොතිබ්බ මොකක්දෝ බරක් නුඹ අරන් ඇවිත්. නුඹ එන බව දැන ගත්ත මොහොතෙ ඉඳන්ම මම හිතුවෙ මගෙ ජීවිතේ ඉතිරි කාලෙ නුඹත් එක්ක කොහොම ගත වෙයි කියල. නුඹට කොහොම ජීවිතේ කියල දෙන්නද කියල. උඹ මේ ඇවිල්ල තියෙන්නෙ උඹෙ අප්පච්චි ජීවිතේ ඉගෙන ගත්ත ලෝකෙට වඩා බොහොම වෙනස් ෆැන්ටසි ලෝකෙකට. ඒත්, උඹෙ අප්පච්චිට පුලුවන් වේවි උඹට කියල දෙන්න මේ ෆැන්ටසියෙ ඉඳන් හැබෑ ලෝකෙට එබෙන හැටි. මට පුලුවන් වේවි උඹෙ අතට ටැබ් එකක්, අයි ෆෝන් එකක් වෙනුවට පොතක් දෙන්න... උඹට මිනිස්සු ජීවත් වෙන හැටි ගැන කතන්දර කියන්න... මුදලිහාමි සපත්තුත් නැතිව දිව්ව හැටි, පාවෙල් කොර්චාගින් විප්ලවේට ලෑස්ති වෙච්ච හැටි, වැඩබැරි දාස කවි ලිව්ව හැටි විතරක් නෙමෙයි, මම උඹට කියන්නම් දුයිෂෙන් වගේ හදවතින්ම මේ ලෝකෙට ආදරේ කරන හැටි... මම කියන්නම් උඹෙන් බොහොම ඈත පුංචි දූපතක හිර වෙලා ඉන්න උඹේ මිනිස්සු ගැන... උන්ගෙ හිනාව ගැන... අන්තිම වතුර උගුරත් බෙදාගෙන බොන උන්ගෙ ලස්සන හිත් ගැන...

මගෙ දුවේ... ලොකු මිනිහෙක් නොවී උඹ හොඳ මිනිහෙක් වෙයං. දුකට හදවතින්ම අඬන, සතුටට හදවතින්ම හිනා වෙන, පපුවෙන් ජීවත් වෙන මිනිහෙක් වෙයං... ඔලුවෙන් ජීවත් වෙන ලෝකයක් ඇතුලෙ පපුවෙන් ජීවත් වෙන මිනිහෙක් වෙයං... සිතිවිල්ලකින් පවා මේ ලෝකෙට යහපතක් කරන මිනිහෙක්... ජීවිතේ අමාරු වෙලාවකදි, උඹෙ අප්පච්චි උඹට ලියපු මේ පළවෙනි ලියුම කියවපං... උඹට පාර පෙනේවි...

දවසක් ඒවි, උඹට ජීවිතේට මූණ දෙන්න. එදාට, උඹෙ අපප්ච්චි උඹ ලඟින් හිටියත්, කොහේ හරි පස් ගොඩක් යට වැළලිලා හිටියත්, මට විශ්වාසයි උඹ මේ ජීවිතේ ජය ගන්න වගට... , උඹේ ඇඟ ඇතුලෙ ගැහෙන්නෙත් මගේම හදවත බව මම දන්න නිසයි...

අප්පච්චි