Monday, January 22, 2018

බාලදක්ෂ 1

මම 6 වසරෙ වගේ ඉන්නකොට අප්පච්චි ට ඕනෙ උනා මාව බාලදක්ෂයෙක් කරන්න. ඒ වෙනකොටත් අප්පච්චි බාලදක්ෂයෙක් විදියට කරපු කියපු දේවල් අහල තිබ්බ හින්ද මගෙත් ලොකු ආසාවක් තිබ්බ මේ ගැන. ඒ නැතත් ගෙදරින් එලියට පනින්නෙ කොහොමද කියල හිත හිත හිටපු මට මේකට බෑ කියන්න ඕනෙ උනේ නෑ.

කොහොම හරි ඉස්කෝලෙ අදාල ගුරුවරුත් හම්බ වෙලා කතා කරල එක සෙනසුරාදා දවසක අප්පච්චි මාව ගිහින් බාර දුන්න ඉස්කෝලෙ බාලදක්ෂ කණ්ඩායමට. මාත් එක්කම අපේ පංතියෙ තව දෙන්නෙක් ඇවිල්ල හිටිය. ඒ සේලක පීරිස් (සනා) සහ අනුරුද්ධ කරුණාරත්න (වැද්දා). එදා පටං ගත්ත බාලදක්ෂ ගමන අපි තුන් දෙනා සෑහෙන දුරක් ගියා. බාලදක්ෂ ක්‍රියාකාරකම් වෙනුවෙන් ඉස්කෝලෙ ගුරුවරයෙක් වත් හිටපු නැති පස්සෙ කාලෙක අපි තුන් දෙනා බොහොම කැපවීමෙන් අපේ scout troop එක බලා හදා ගත්ත. ඉස්කෝලෙ ගමන නවත්තනකන්ම, මම ඉගෙන ගත්ත ඉස්කෝල දෙකේම බාලදක්ෂයෙක් විදියට වැඩ කරන්න තරම් ඒ කැපවීම උත්සන්න උනා... 😆😆

හැබැයි ඒ කැපවීම ආවෙ පස්සෙ. මුලින්ම ඕනෙ උනේ සෙනසුරාදා උදේ ගෙදරින් එලියට පනින්න. පස්සෙ මේ ගැට, ප්‍රථමාධාර, කඳවුරු, ගිණිමැල එක්ක ගෙවිච්ච ජීවිතේට අපි සෑහෙන්න ලං උනා. විවිධ තරාතිරමෙ මිනිස්සු ඉන්න කාණ්ඩයක් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියන එක ඉගෙන ගත්තෙ එතනින්. ගැට ටික අමතක උනත් ඒ වගේ පාඩම් නම් තාම මතකයි. "Once a scout, always a scout" කියල කවුදෝ කිව්වලු නෙ... 😏

බාලදක්ෂ කතා නම් ගොඩයි. ඒත් ඉස්සෙල්ලම මේක කියන්න ඔනෙ කියල හිතුනා. මේක සිද්ද උනේ එකදාස් නමසිය 96 විතර. දිස්ත්‍රික්කෙ වාර්ශික මිත්‍රත්ව බාලදක්ෂ කඳවුර සංවිධානය කරන්න භාර උනේ අපේ ඉස්කොලෙට. මුලින්ම සල්ලි ටිකක් හොයා ගන්න ඔනෙ හින්ද අපි ගැහුව ස්ටිකර් එකක්. මේ ස්ටිකර් එකක් රුපියල් 10 කට විකුණල අපේ මූලික වියදම හොයා ගන්න තමයි අපේ බලාපොරොත්තුව උනේ. ඉතිං අපේ ජ්‍යේෂ්ඨ කණිෂ්ඨ ඔක්කොම බාලදක්ෂයෝ එකතු වෙලා කාණ්ඩ කීපෙකට බෙදිලා නගර, ගම්, නියං ගම් හැම එකේම ඇවිද්දා මේ ටික විකුණ ගන්න. ඉතිං කාට හරි මේක විකුනද්දි කියන්න ඕනෙ ටික අපි කට්ටියට කියල දුන්නා. කොච්චර කිව්වත් අදහස විතරක් අරන් උඹලගෙ වචනෙන් කියපං කියල එකෙක්වත් ඇහුවෙ නෑ. ඔක්කොම මෙන්න මේක ගිරවා දා ගත්තා... "අපි අහවල් ඉස්කෝලෙ බාලදක්ෂයෝ. අපි මිත්‍රත්ව බාලදක්ෂ කඳවුරක් ගහනවා. ඒකට ආධාර වශයෙන් මේ ස්ටිකර් එක කරල තියනවා.ඉතිං මේ ස්ටිකර් එකක් අරන් අපේ කඳවුරට අධාරයක් කරන්න".

ඔන්න දවසක් උදේම අපි පිටත් උනා ස්ටිකර් වෙළඳාමේ. හවස් වෙනකන් ම තැන් තැන් වල ඇවිදල කස්ටියටම සෑහෙන්න මහන්සියි. තව ගෙවල් 10ක් වත් කරමු කියල හිතුවත් එකෙක් වත් කතා කරන්න භාර ගන්නෙ නෑ මහන්සි හින්දා. ඔන්න මගෙ කාණ්ඩෙ විකසිත මල්ලි ආව ඉස්සරහට... "අයියෙ, මම කරන්නම්" කියල ගත්ත ස්ටිකර් මිටිය අතට. දැන් මිනිහ වැඩේ ඇදගෙන යනවා. ඔන්න අපි ගියා ඊලඟ ගෙදරට. විකසිතයට වැඩේ කරන්න දීල අනික් එවුන් ලඟ තියන ගස් ගල් බිත්ති මල් පෝච්චි වල හේත්තු වෙලා ඉන්නව. ආව ගෘහ මූලික අංකල් එලියට. විකසිත පටං ගත්ත...

විකසිත: අංකල්, අපි අහවල් ඉස්කෝලෙ බාලදක්ෂයෝ. අපි මේ ස්ටිකර් එකක් ගහනවා. ඒකට ආධාර වශයෙන් කෑම්ප් එකක් කරල තියනවා.ඉතිං මේ කෑම්ප් එකක් අරන් ස්ටිකර් එකට අධාරයක් කරන්න...

අංකල්: #$@%%^&%**

විකසිතයගෙ කතාවට අංකල් ගෙ මූණ විකසිත වෙලා ගියා... 😂😂

ප. ලි.
විකසිත මල්ලි ගැන මේ කතාවත් නොකියාම බෑ. පස්සෙ කාලෙක අපි ඔක්කොම කැම්පස් යද්දී විකසිත මල්ලි දෙවන ලුතිනන්වරයෙක් විදියට අධිකාරිය ලබමින් ශ්‍රී ලංකා යුධ හමුදාවට එකතු උනා. අවසන් යුද්ධයේදී මව් බිමට සියලු යුතුකම් ඉටු කළ ඔහු අද විශ්‍රාමික මේජර් වරයෙක්.
මේජර් ගයාන් විකසිත RWP RSP, උඹ අපිට ආඩම්බරයක් ....



Monday, January 8, 2018

සේදිරිස්

අලුත් අවුරුද්දෙ කියන්ට යන්නෙ පරණ කතාවක් ඕං...

මේක වෙනකොට මම දෙක වසරෙ විතර ඇති. අම්ම හැමදාම ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඇවිල්ල office එක ඉස්සරහ මයිල ගහ යට ට වෙලා ඉන්නව මම එනකං. ඒ එන්නෙත් නිකන් නෙමෙයි. රත්න ග්‍රොසරියෙන් සීනි බෝල රුපියලකත් අරගෙන තමයි එන්නෙ. ඉස්සර අනික් ළමයි එක්කන් යන්න එන අම්මල අපේ අම්ම ට කියනවලු ඔයාගෙ පුතා නම් හැමදාම හිනා වී ගෙන මයි එන්නෙ කියල. ඒ අම්මලත් රත්න ගොසරිය පැත්තෙ ගිහින් ආව නම්  ඒ ළමයිනුත් හිනා වෙන්න තිබ්බ... ඉතින් අපි දෙන්න කිලෝමීටර දෙකක් විතර පයින්ම තමයි ගෙදරට එන්නෙ. ඒ එන ගමන් මම කන්නෙ සීනි බෝල දෙකක් විතර තමයි. අනික් ටික ගෙදර ඇවිල්ල ටික ටික තමයි කන්නෙ. ඉස්සර අම්ම දෙහි හදලා දුන්නම මම බොන්නෙ හැන්දෙන්. ලෝබ කමට නෙමෙයි, ඉවර වෙයි කියල බයට...

ඔන්න මේ කියන දවසෙ මම ඉස්කොලෙ ඇරිල එනකොට අම්ම නෑ මයිල ගහ යට!! මට හිතා ගන්න බෑ මොකද කරන්නෙ කියල.  අනික් ළමයිනුත් එයාලගෙ අම්මල එක්ක යනව. මමත් ඔන්න ඔහෙ ඔනෙ එකක් කියල තනියම පයින් ම යන්න පටන් ගත්ත. මට ඒ දවස් වල ඉස්කොලෙ බෑග් එකක් තිබ්බෙ නෑ. අප්පච්චි කොහෙන් හරි හොයල දීල තිබ්බ අර මුදලාලි ලා සල්ලි එකතු කරන්න අරන් යන වගේ සිප් එකක් තියන ලොකු බෑග් එකක්. ඕකත් කිහිල්ලෙ ගහගෙන දැන් මම යනව. යන්න ඕනෙ ඉස්පිරිතාලෙ පහු කරගෙන. ඉස්පිරිතාලෙ ඉස්සරහ පේමන්ට් එකේ පළතුරු කඩ වල කොල්ලො "ආ.. පොඩි මුදලාලී.." කියනව ඇහෙනව. මම ඉතින් ඇහුනෙ නෑ වගේ ආව. මගදි රත්න ගොසරිය දකිද්දි පපුව හෝස් ගාල ගියා... කොහොම හරි ඔන්න බැරි බැරි ගාතෙ ගෙදර ලගට එනකොට මෙන්න අම්ම ඉන්නව ගේට්ටුව ලඟ! ඉදල අහපි...

අම්මා: කෝ සේදිරිස්?
මම: මොන සේදිරිස්ද?
අම්මා: ඇයි මම සේදිරිස් එව්වනෙ එක්කන් යන්න...

බලනකොට අපේ ගමේ ඉදන් සේදිරිස් කියල අපි දන්න කියන මනුස්පයෙක් ඇවිල්ල. අම්ම මිනිහව එවල මාව එක්කන් එන්න. මට මොන සේදිරිස් ද... කතා කර ගන්න පන නෑ. අර බෑග් එක කිහිල්ලෙ ගහන් ඇවිල්ල අත දිග ඇරගන්නත් බෑ... පස්සෙ අම්ම මව ගෙට දාල දොර වහල ආපහු ගියා ඉස්කෝලෙට සේදිරිස් හොයන්න... යනකොට මෙන්න සේදිරිස් ඉන්නවලු රත්න ගොසරියෙ සීනි බෝල ටිකත් අතේ ගුලි කර ගෙන මයිල ගහ යට මම එනකන්!!!
වෙලාවට අම්ම ගියෙ, නැත්නම් සේදිරිස් තාම එතන... ඕං ඔය පහළ ඉන්නෙ... 😝