Wednesday, August 8, 2018

වීරයා මැරිලා...

අද, අගෝස්තු 8.

මේක අවුරුදු 26ක් පරණ කතාවක්. කාලයත් එක්ක හැමෝටම අමතක වෙච්ච වීරයෙක් ගැන කතාවක්. යුධ සෙන්පතියෙක් උනත්, කිසිම දවසක කිසිම කෙනෙක් ගෙන් වරදක් නොඅහපු මනුස්සයෙක් ගැන කතාවක්. තමයි, ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව.


අවුරුදු 26කට කලින් කියන්නෙ දෙවන ඊලාම් යුද්ධයේ වගේම ප්රේමදාස ජනාධිපති තුමාගෙත් අන්තිම කාලෙ. යුද්ධෙට අවුරුදු දහයක්ම ගෙවිලා. හැමෝගෙම බලාපොරොත්තුව උනේ ඔහුයාපනය කොටුව බේරා ගැනීමට ඔහු සැළසුම් කළ මෙහෙයුම ඔහු නම් කළේ "Final Countdown" නමින්. තමයි ඔහුගේ අවසාන සැළසුම...  1992 අගෝස්තු 8 වැනිදා උදේ තමයි ජෙනරල් කොබ්බෑකඩුව ඇතුලු පිරිස "බිම් බෝම්බයකට" අහු උණා කියල ප්රවෘත්ති වලට කියන්නෙ. අනුරාධපුරේ හිටපු අපිට වෙනකොට හෙලිකොප්ටර්, ඇම්බියුලන්ස්, චෙක් පොයින්ට් එහෙම හොඳට හුරු වෙලා තිබ්බෙ. ඒත් එදා මිනිස්සු ඔක්කොම ගෙවල් වලින් එලියට බැහැලා අහස දිහා බලන් ඉන්න ගත්තා. අනුරාධපුර ඉස්පිරිතාලෙ දොස්තර මහත්තුරු අනික් ඔක්කොම වැඩ නවත්තලා එක මනුස්සයෙක්ව බේරගන්න ලෑස්ති වෙලා හිටියා. ඉස්පිරිතාලෙ ගේට්ටු දෙකම ලඟ මිනිස්සු පොරකන්න පටං ගත්තා... පැය කීපයකට පස්සෙ, හැමදාම තුවාලකාරයො අරන් එන බෙල් 212 හෙලිකොප්ටරේ අහසෙ පේන්න ගත්තා. මිනිස්සු ඔක්කොම ඉස්පිරිතාලෙ ඉස්සරහ තිබ්බ හෙලිකොප්ටර් අංගනයෙ තාප්පෙ ලඟට ගියා. හෙලිකොප්ටර් අංගනයෙ ඉඳන් ඉස්පිරිතාලෙට ඔහුව අරන් යන්න ඇම්බියුලන්ස් පවා සූදානම් කරලා. තමන්ගෙ වීරයා බේර ගන්න පුලුවන්  කියන එක ගැන කිසිම සැකයක් මේ රැස් වෙලා හිටපු කිසිම කෙනෙක්ට තිබ්බෙ නෑ... ඒත්... ගොඩක් වෙලා අහසෙ රවුම් ගහ ගහ හිටපු හෙලිකොප්ටරේ එක පාරටම කොළඹ දිහාට ඇදිල ගියා... ඊට පස්සෙ ගත උනේ පැය කීපයයි... ඔහු හෙලිකොප්ටරය තුලම අවසන් ගමන් ගිය බවට ප්රවෘත්තිය විකාශණය උනා...!

කොබ්බෑකඩුව වීරයෙක් විදියට මගෙ හිතේ ඇඳිලා තියෙන්නෙ ඔහුගේ යුධ වික්රමයන් ගැන තොරතුරු හින්දම නෙමෙයි. ඒකට ගොඩක්ම බලපෑවෙ අපේ අප්පච්චි. කොබ්බෑකඩුව කියන්නෙ අප්පච්චිගෙ හිතේ හිටපු සදාතනික වීරයෙක්. 1987 දි අපේ හමුදාව වඩමරච්චි මෙහෙයුම කරන්නෙ බොහොම අඩු පහසුකම් එක්ක. මේ මෙහෙයුමේ එක නියමුවෙක් තමයි ජෙනරල් කොබ්බෑකඩුව. මේ මෙහෙයුමට සහභාගී වෙන්නෙ "සියාමා චෙට්ටි" කියන එක නියමුවෙක් පමණක් යන්න පුලුවන් ප්රහාරක යානා. පස්සෙ කාලෙක අප්පච්චි අපිව අනුරාධපුරේ "Nothern" කඳවුරට එක්කන් ගිහින් වඩමරච්චි මෙහෙයුමට සහභාගී වෙච්ච සියාමා චෙට්ටි යානා දෙක පෙන්නනවා. එතන හිටපු නිලධාරියෙක් අපිට ජෙනරල් කොබ්බෑකඩුව ගැනත්, මෙහෙයුම ගැනත් විස්තර කියල දුන්න. එදා තමයි ඉස්සෙල්ලම කොබ්බෑකඩුව වීරයෙක් විදියට මගෙ හිතේ පැලපදියම් වෙන්නෙ. දෙවන ඊලාම් යුද්දෙදි ජෙනරල් කොබ්බෑකඩුව නායක්ත්වය දුන්නබලවේගය මෙහෙයුම (මට මතක හැටියට අලිමංකඩ කඳවුර බේර ගන්ට) ජයග්රහණයෙන් පස්සෙ අප්පච්චි අනුරාධපුරේ ටවුම හරහට දැම්ම ලොකු බැනර් එකක්... ඒකෙ තිබ්බා මෙහෙම...

"... සතුරන් පෙති ගසන ගෙන සුරතට රන් කඩුව
හෙළයනි හිස නමවු දැක කොබ්බෑකඩුව..."

දවස් වල අපෙ අක්ක ලිව්ව කවි පොතක්. ඒකෙ නම සිංහයෙකු අවදිවෙයි! හැම කවියකම තිබ්බෙ යුද්ධෙ ගැන, සොල්දාදුවො ගැන, යුද්ධෙ හින්ද අපිට වෙන විපත ගැන. අප්පච්චි කොහොම හරි මේ පොත ජෙනරල් කොබ්බෑකඩුවට ලැබෙන්න සැලස්සුවා. වෙනකන් කතා වලින්, පිංතූර වලින් විතරක් දැකල තිබ්බ ඔහුව හැබෑවටම දැක ගන්න අපිට වාසනාව ලැබුණා. ඔහු අපිව අනුරාධපුර නියාමන මැදිරියට එක්කන් ගිහින් වෙනකොට යුද්ධයේ මොකද වෙන්නෙ කියල විස්තර කරල දුන්නා. අක්කගෙ කවි පොත උතුරෙ හැම කඳවුරකටම වගේ යවන්න අවස්ථාව දුන්නා. එව්ව කියවල අක්කට සොල්දාදුවන්ගෙන් ආපු ලියුම් කන්දරාව අදටත් අපේ ගෙදර කොහෙ හරි ඇති!


ඉතිං ඔහු අපිට වීරයෙක්. හැම අගෝස්තු අට වෙනිදාකම ඔහුවත්, ඔහුව අපේ හිතේ වීරයෙක් කරපු අප්පච්චිවත් මතක් වෙන්නෙ හින්දා. වීරයො මැරිච්ච රටක අපි අනාතයො වෙච්ච හැටි බලන්න අද මේ දෙන්නම මේ ලෝකෙ නෑ!!

9 comments:

  1. ඔහු මිය ගිහින් අවුරුදු හතකට විතර පස්සේ මම ඔහු මිය ගිය (බෝම්බයට ගොදුරු උන) අරාලි තුඩුවට ගියා.. ඒ මගේ පලවෙනි රාජකාරි ගමන.. මොකද ඒ වෙනකොට මම කයිට්ස් වල අරාලි තුඩුව පිහිටි ප්‍රදේශය භාර නාවික නිලධාරියා විදියට මගේ පලවෙනි රාජකාරිය බාර ගත්ත ගමන්.. ඔහු ගැන අහල දැකල තිබ්බ මතකයත් එක්ක ඒ ගමන මට කවදාවත් අමතක වෙන්නේ නෑ.. ඔහුටත් ඔබේ පියාටත් සුභ ගමන්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මිත්‍රයා...

      Delete
  2. අපිත් අරාලි ගියා. එදා එතනට ආව හැමෝම බොහොම ගෞරවාන්විතව කොබ්බෑකඩුව මහත්මයාව සිහි කරන හැටි දැක්කාම නම් තේරුණා 'වීරයෝ මැරෙන්නේ නැති බව!"

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී...
      මමත් ආවා පංච තන්තරේ දිහා... අපූරු ලියවිලි ටිකක්...

      Delete
  3. ඇස් තෙත් උනා මේක කියවලා... ඇත්ත මේ වගේ ජාතික වීරයෝ විතරක් නෙවෙයි දරුවන්ගේ හදවත් වල සදාකාලිකව ජීවත් වෙන තාත්තලත් මැරෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී සඳ...
      දැන් කාලෙ මැරිලත් ජීවත් වෙන මිනිස්සු අඩු වෙලා ගිහින්. ඉන්න අය වැඩි හරියක් ඉන්නෙ ජීවත් උනත් මැරිච්ච ගානට :(

      Delete
  4. මේ සිදුවීම මං ඉපදෙන්නත් කලින් වුණු සිදුවීමක් වුණත් මං ඔහු ගැන කියවලා අහලා තිබුණා. ඒත් මේ ලිපිය හදවතට ඇනපු කිණිසි පාරක් වගේ දැනෙනවා. වීරයන්ට වීරයා කියන්නත් බය රටක ඔබේ ලිපිය වෙනුවෙන් ස්තූතියි.

    ReplyDelete