Sunday, November 4, 2018

මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...




ඉතින්... නුඹ ඇවිත්. බලාපොරොත්තු නොවුණම මොහොතක උනත්, නුඹ ඇවිත්... හරියටම මාසයක්... ජීවිත කාලයක් වගේ දැණුන මාසයක්...

මගෙ අතට එනකොට උඹ රෝස පාට පුංචිම පුංචි කෙල්ලෙක්. මම බැලුවෙ උඹෙ අම්ම දිහා... ඇඟේ තිබ්බ ලේ වලින් බාගයක්ම බිම හැලිලා කියල උන්දැට ගානක්වත් නෑ... උඹ දිහා බල අහනව,

"අඬනවද...?"

මට මතක් උනා කොහේදෝ පොතක තිබ්බ කතාවක්. දරුවෙක් කියන්නෙ අම්මගෙ බඩෙන් ආපු අම්මගෙම කෑල්ලක්. ඒත් දුවෙක් එන්නෙ තාත්තෙක් ගෙ පපුවෙන්...

මෙච්චර කාලෙකට ජීවිතේ නොතිබ්බ මොකක්දෝ බරක් නුඹ අරන් ඇවිත්. නුඹ එන බව දැන ගත්ත මොහොතෙ ඉඳන්ම මම හිතුවෙ මගෙ ජීවිතේ ඉතිරි කාලෙ නුඹත් එක්ක කොහොම ගත වෙයි කියල. නුඹට කොහොම ජීවිතේ කියල දෙන්නද කියල. උඹ මේ ඇවිල්ල තියෙන්නෙ උඹෙ අප්පච්චි ජීවිතේ ඉගෙන ගත්ත ලෝකෙට වඩා බොහොම වෙනස් ෆැන්ටසි ලෝකෙකට. ඒත්, උඹෙ අප්පච්චිට පුලුවන් වේවි උඹට කියල දෙන්න මේ ෆැන්ටසියෙ ඉඳන් හැබෑ ලෝකෙට එබෙන හැටි. මට පුලුවන් වේවි උඹෙ අතට ටැබ් එකක්, අයි ෆෝන් එකක් වෙනුවට පොතක් දෙන්න... උඹට මිනිස්සු ජීවත් වෙන හැටි ගැන කතන්දර කියන්න... මුදලිහාමි සපත්තුත් නැතිව දිව්ව හැටි, පාවෙල් කොර්චාගින් විප්ලවේට ලෑස්ති වෙච්ච හැටි, වැඩබැරි දාස කවි ලිව්ව හැටි විතරක් නෙමෙයි, මම උඹට කියන්නම් දුයිෂෙන් වගේ හදවතින්ම මේ ලෝකෙට ආදරේ කරන හැටි... මම කියන්නම් උඹෙන් බොහොම ඈත පුංචි දූපතක හිර වෙලා ඉන්න උඹේ මිනිස්සු ගැන... උන්ගෙ හිනාව ගැන... අන්තිම වතුර උගුරත් බෙදාගෙන බොන උන්ගෙ ලස්සන හිත් ගැන...

මගෙ දුවේ... ලොකු මිනිහෙක් නොවී උඹ හොඳ මිනිහෙක් වෙයං. දුකට හදවතින්ම අඬන, සතුටට හදවතින්ම හිනා වෙන, පපුවෙන් ජීවත් වෙන මිනිහෙක් වෙයං... ඔලුවෙන් ජීවත් වෙන ලෝකයක් ඇතුලෙ පපුවෙන් ජීවත් වෙන මිනිහෙක් වෙයං... සිතිවිල්ලකින් පවා මේ ලෝකෙට යහපතක් කරන මිනිහෙක්... ජීවිතේ අමාරු වෙලාවකදි, උඹෙ අප්පච්චි උඹට ලියපු මේ පළවෙනි ලියුම කියවපං... උඹට පාර පෙනේවි...

දවසක් ඒවි, උඹට ජීවිතේට මූණ දෙන්න. එදාට, උඹෙ අපප්ච්චි උඹ ලඟින් හිටියත්, කොහේ හරි පස් ගොඩක් යට වැළලිලා හිටියත්, මට විශ්වාසයි උඹ මේ ජීවිතේ ජය ගන්න වගට... , උඹේ ඇඟ ඇතුලෙ ගැහෙන්නෙත් මගේම හදවත බව මම දන්න නිසයි...

අප්පච්චි



Monday, September 10, 2018

... මල්වඩම් අනවශ්යයි ...



... නුඹ, අද මෙහි එන බැව් මම ඉඳුරාම දැන සිටියෙමි. බොහෝ කලකට පෙර නුඹ වළ දැමූ, මට වළ දැමීමට නොහැකි වූ, අතීතයේ විසල් පදාසයකම අයිතිකරු මා වූ බැවිනි. සා අයිතියක් මිහිදන්ව සැඟව යාමට මොහොතකට හෝ මත්තෙන් නුඹ එන බැව් මම දැන සිටියෙමි.

නුඹ දුරින් එනු මම බලා සිටිමි. පෙර දින රාත්රියේ සිට මග දෙපස එල්ලෙන සුදු කොඩි වැල් දැක තැති ගැණුනු නුඹ දෙඇස් , පැකිලෙන දෙපා මම දකිමි. තව දුරටත් ලෙයින් මසින් තොර වුවද, මගේ හදවත නුඹ වෙනුවෙන් හඬා වැටෙන හඬ මට ඇසේ. තවමත්... ඔව්, තිස් වසරකට පසු තවමත් නුඹේ හද ගැහෙන'යුරු මට දැනේ. මම නුඹ වෙත එමි. මා පිලිබඳ මතකයක සේයාවකඳු ඇත්දැයි නුඹ දෑස් විපරම් කරමි... විශ්වාස කරනු මැන... බොහෝ කලකට පෙර වළ දැමුවා යැයි මා සිතූ අප පිලිබඳ සියලු මතක, එක් දූලි කැටයකඳු අඩු නැතිව, නුඹ දෑස් පුරා විසිරී ඇති සැටි දකිමිමම පසුතැවෙමි... නුඹ මා වෙත එන තුරු බලා නොසිට, මා නුඹ වෙත නොආ වරදින් පසුතැවෙමි...

ගොක් කොළ, සුදු කොඩි, මල් වඩම් සියල්ල පසු කරමින් ඇදෙන පියවරක් පියවරක් පාසා මම නුඹ ලඟ රැඳෙමි. බොහෝ වේලා සිට දැල්වෙන පිත්තල පහන ඉදිරියේ නුඹ නතර වන විට , මම නුඹේ සුරත ගෙන නුඹ ලඟම සිටියෙමි. මා නුඹ එන තුරු බලා සිටිනා අතර ඔවුන් මා බොහෝ හැඩ කොට නිවස මැද තබා ඇති බව පෙනේ. මේ... නුඹ ජීවිතයෙ අසීරුම මොහොත යැයි මම දනිමි. මේ කඩා හැලෙන කඳුලු වැල් සාක්ෂි . නුඹට නොහැඟුන , නොදැනුන , මම නුඹ අසලම සිටියෙමි... දැනුඳු සිටිමි. නුඹ ඉදිරියට පැමිණ නොහඬන්න යැයි කියමි.... නුඹේ වත දෝතට ගෙන කඳුලු පිස දැමීමට හැකි වෙර යොදමි... එහෙත්... නුඹට මා නොපෙනෙන සේය... මම පසුතැවෙමි... පැය කිහිපයකට පෙර මා බොහෝ සතුටින් හැර දමා ශරීරයට වැද වැහැරුණු දෙඅතින් නැවත නුඹ වැලඳ ගන්නට මට සිතේ... ජීවත්ව සිටිද්දී , ජීවිතයෙන් ඔබ්බෙහි , මා නුඹ ඉදිරියේ අසරණ වූ සැටියකි...

මම බලා සිටින්නට තීරණය කරමි. කොතෙක් කල් ගත වුවද, නුඹ කෙදිනක හෝ මා වෙත එන බැව් මා දැන් දනිමි. නුඹ අද රැගෙන ආවේ බලාපොරොත්තුව . එකම මල් කිනිත්තක් හෝ නොමැතිව, එහෙත් මල්වඩම් සහසකට වඩා බරැති ආදරයක්ද දරා ගෙන, නුඹ අද රැගෙන ආවේ බලාපොරොත්තුව ...


ඉඳින්, මම බලා හිඳිමි... අප වෙන් වූ ලෝකයට ඔබ්බෙන් වූ ලෝකයක එක් වන්නට මම බලා හිඳිමි... නුඹ අසලම රැඳෙමි...






Wednesday, August 15, 2018

ඉර


ඉර...
මට දුකයි උඹ ගැන...

ලස්සනට රවුමට හිටියට
මං දන්නව
උඹ ඔතන පිච්චෙන පිච්චිල්ල...

එලිය ඕනෙම මිනිස්සුන්ට
එලිය දෙන්ටම ඕනෙ හින්දා මිසක
මං දන්නව
උඹත් පිච්චෙන්නෙ
හරි අමාරුවෙන් වග...

ඉර,
මට හිතෙනව
උඹට දණ ගහල වඳින්ට...
ඒත් බෑ නෙව.
එදාට
ආගමිකයො නිරාගමිකයො
ඔක්කොම එකතු වේවි
මගේ පළු අරින්ට
... ඉරටත් වඳින මිත්තියාදුස්ටිකයා...

ඉර,
මං දන්නව
කවද හරි දවසක් උඹ
පිච්චිලා පිච්චිලා අළු වෙලා යාවි.
අන්න එදාට
උන්ට හිතේවි
වැඳලා වැඳලා හරි
උඹව තියා ගත්තනං කියලා....

Wednesday, August 8, 2018

වීරයා මැරිලා...

අද, අගෝස්තු 8.

මේක අවුරුදු 26ක් පරණ කතාවක්. කාලයත් එක්ක හැමෝටම අමතක වෙච්ච වීරයෙක් ගැන කතාවක්. යුධ සෙන්පතියෙක් උනත්, කිසිම දවසක කිසිම කෙනෙක් ගෙන් වරදක් නොඅහපු මනුස්සයෙක් ගැන කතාවක්. තමයි, ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව.


අවුරුදු 26කට කලින් කියන්නෙ දෙවන ඊලාම් යුද්ධයේ වගේම ප්රේමදාස ජනාධිපති තුමාගෙත් අන්තිම කාලෙ. යුද්ධෙට අවුරුදු දහයක්ම ගෙවිලා. හැමෝගෙම බලාපොරොත්තුව උනේ ඔහුයාපනය කොටුව බේරා ගැනීමට ඔහු සැළසුම් කළ මෙහෙයුම ඔහු නම් කළේ "Final Countdown" නමින්. තමයි ඔහුගේ අවසාන සැළසුම...  1992 අගෝස්තු 8 වැනිදා උදේ තමයි ජෙනරල් කොබ්බෑකඩුව ඇතුලු පිරිස "බිම් බෝම්බයකට" අහු උණා කියල ප්රවෘත්ති වලට කියන්නෙ. අනුරාධපුරේ හිටපු අපිට වෙනකොට හෙලිකොප්ටර්, ඇම්බියුලන්ස්, චෙක් පොයින්ට් එහෙම හොඳට හුරු වෙලා තිබ්බෙ. ඒත් එදා මිනිස්සු ඔක්කොම ගෙවල් වලින් එලියට බැහැලා අහස දිහා බලන් ඉන්න ගත්තා. අනුරාධපුර ඉස්පිරිතාලෙ දොස්තර මහත්තුරු අනික් ඔක්කොම වැඩ නවත්තලා එක මනුස්සයෙක්ව බේරගන්න ලෑස්ති වෙලා හිටියා. ඉස්පිරිතාලෙ ගේට්ටු දෙකම ලඟ මිනිස්සු පොරකන්න පටං ගත්තා... පැය කීපයකට පස්සෙ, හැමදාම තුවාලකාරයො අරන් එන බෙල් 212 හෙලිකොප්ටරේ අහසෙ පේන්න ගත්තා. මිනිස්සු ඔක්කොම ඉස්පිරිතාලෙ ඉස්සරහ තිබ්බ හෙලිකොප්ටර් අංගනයෙ තාප්පෙ ලඟට ගියා. හෙලිකොප්ටර් අංගනයෙ ඉඳන් ඉස්පිරිතාලෙට ඔහුව අරන් යන්න ඇම්බියුලන්ස් පවා සූදානම් කරලා. තමන්ගෙ වීරයා බේර ගන්න පුලුවන්  කියන එක ගැන කිසිම සැකයක් මේ රැස් වෙලා හිටපු කිසිම කෙනෙක්ට තිබ්බෙ නෑ... ඒත්... ගොඩක් වෙලා අහසෙ රවුම් ගහ ගහ හිටපු හෙලිකොප්ටරේ එක පාරටම කොළඹ දිහාට ඇදිල ගියා... ඊට පස්සෙ ගත උනේ පැය කීපයයි... ඔහු හෙලිකොප්ටරය තුලම අවසන් ගමන් ගිය බවට ප්රවෘත්තිය විකාශණය උනා...!

කොබ්බෑකඩුව වීරයෙක් විදියට මගෙ හිතේ ඇඳිලා තියෙන්නෙ ඔහුගේ යුධ වික්රමයන් ගැන තොරතුරු හින්දම නෙමෙයි. ඒකට ගොඩක්ම බලපෑවෙ අපේ අප්පච්චි. කොබ්බෑකඩුව කියන්නෙ අප්පච්චිගෙ හිතේ හිටපු සදාතනික වීරයෙක්. 1987 දි අපේ හමුදාව වඩමරච්චි මෙහෙයුම කරන්නෙ බොහොම අඩු පහසුකම් එක්ක. මේ මෙහෙයුමේ එක නියමුවෙක් තමයි ජෙනරල් කොබ්බෑකඩුව. මේ මෙහෙයුමට සහභාගී වෙන්නෙ "සියාමා චෙට්ටි" කියන එක නියමුවෙක් පමණක් යන්න පුලුවන් ප්රහාරක යානා. පස්සෙ කාලෙක අප්පච්චි අපිව අනුරාධපුරේ "Nothern" කඳවුරට එක්කන් ගිහින් වඩමරච්චි මෙහෙයුමට සහභාගී වෙච්ච සියාමා චෙට්ටි යානා දෙක පෙන්නනවා. එතන හිටපු නිලධාරියෙක් අපිට ජෙනරල් කොබ්බෑකඩුව ගැනත්, මෙහෙයුම ගැනත් විස්තර කියල දුන්න. එදා තමයි ඉස්සෙල්ලම කොබ්බෑකඩුව වීරයෙක් විදියට මගෙ හිතේ පැලපදියම් වෙන්නෙ. දෙවන ඊලාම් යුද්දෙදි ජෙනරල් කොබ්බෑකඩුව නායක්ත්වය දුන්නබලවේගය මෙහෙයුම (මට මතක හැටියට අලිමංකඩ කඳවුර බේර ගන්ට) ජයග්රහණයෙන් පස්සෙ අප්පච්චි අනුරාධපුරේ ටවුම හරහට දැම්ම ලොකු බැනර් එකක්... ඒකෙ තිබ්බා මෙහෙම...

"... සතුරන් පෙති ගසන ගෙන සුරතට රන් කඩුව
හෙළයනි හිස නමවු දැක කොබ්බෑකඩුව..."

දවස් වල අපෙ අක්ක ලිව්ව කවි පොතක්. ඒකෙ නම සිංහයෙකු අවදිවෙයි! හැම කවියකම තිබ්බෙ යුද්ධෙ ගැන, සොල්දාදුවො ගැන, යුද්ධෙ හින්ද අපිට වෙන විපත ගැන. අප්පච්චි කොහොම හරි මේ පොත ජෙනරල් කොබ්බෑකඩුවට ලැබෙන්න සැලස්සුවා. වෙනකන් කතා වලින්, පිංතූර වලින් විතරක් දැකල තිබ්බ ඔහුව හැබෑවටම දැක ගන්න අපිට වාසනාව ලැබුණා. ඔහු අපිව අනුරාධපුර නියාමන මැදිරියට එක්කන් ගිහින් වෙනකොට යුද්ධයේ මොකද වෙන්නෙ කියල විස්තර කරල දුන්නා. අක්කගෙ කවි පොත උතුරෙ හැම කඳවුරකටම වගේ යවන්න අවස්ථාව දුන්නා. එව්ව කියවල අක්කට සොල්දාදුවන්ගෙන් ආපු ලියුම් කන්දරාව අදටත් අපේ ගෙදර කොහෙ හරි ඇති!


ඉතිං ඔහු අපිට වීරයෙක්. හැම අගෝස්තු අට වෙනිදාකම ඔහුවත්, ඔහුව අපේ හිතේ වීරයෙක් කරපු අප්පච්චිවත් මතක් වෙන්නෙ හින්දා. වීරයො මැරිච්ච රටක අපි අනාතයො වෙච්ච හැටි බලන්න අද මේ දෙන්නම මේ ලෝකෙ නෑ!!