Monday, January 8, 2018

සේදිරිස්

අලුත් අවුරුද්දෙ කියන්ට යන්නෙ පරණ කතාවක් ඕං...

මේක වෙනකොට මම දෙක වසරෙ විතර ඇති. අම්ම හැමදාම ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඇවිල්ල office එක ඉස්සරහ මයිල ගහ යට ට වෙලා ඉන්නව මම එනකං. ඒ එන්නෙත් නිකන් නෙමෙයි. රත්න ග්‍රොසරියෙන් සීනි බෝල රුපියලකත් අරගෙන තමයි එන්නෙ. ඉස්සර අනික් ළමයි එක්කන් යන්න එන අම්මල අපේ අම්ම ට කියනවලු ඔයාගෙ පුතා නම් හැමදාම හිනා වී ගෙන මයි එන්නෙ කියල. ඒ අම්මලත් රත්න ගොසරිය පැත්තෙ ගිහින් ආව නම්  ඒ ළමයිනුත් හිනා වෙන්න තිබ්බ... ඉතින් අපි දෙන්න කිලෝමීටර දෙකක් විතර පයින්ම තමයි ගෙදරට එන්නෙ. ඒ එන ගමන් මම කන්නෙ සීනි බෝල දෙකක් විතර තමයි. අනික් ටික ගෙදර ඇවිල්ල ටික ටික තමයි කන්නෙ. ඉස්සර අම්ම දෙහි හදලා දුන්නම මම බොන්නෙ හැන්දෙන්. ලෝබ කමට නෙමෙයි, ඉවර වෙයි කියල බයට...

ඔන්න මේ කියන දවසෙ මම ඉස්කොලෙ ඇරිල එනකොට අම්ම නෑ මයිල ගහ යට!! මට හිතා ගන්න බෑ මොකද කරන්නෙ කියල.  අනික් ළමයිනුත් එයාලගෙ අම්මල එක්ක යනව. මමත් ඔන්න ඔහෙ ඔනෙ එකක් කියල තනියම පයින් ම යන්න පටන් ගත්ත. මට ඒ දවස් වල ඉස්කොලෙ බෑග් එකක් තිබ්බෙ නෑ. අප්පච්චි කොහෙන් හරි හොයල දීල තිබ්බ අර මුදලාලි ලා සල්ලි එකතු කරන්න අරන් යන වගේ සිප් එකක් තියන ලොකු බෑග් එකක්. ඕකත් කිහිල්ලෙ ගහගෙන දැන් මම යනව. යන්න ඕනෙ ඉස්පිරිතාලෙ පහු කරගෙන. ඉස්පිරිතාලෙ ඉස්සරහ පේමන්ට් එකේ පළතුරු කඩ වල කොල්ලො "ආ.. පොඩි මුදලාලී.." කියනව ඇහෙනව. මම ඉතින් ඇහුනෙ නෑ වගේ ආව. මගදි රත්න ගොසරිය දකිද්දි පපුව හෝස් ගාල ගියා... කොහොම හරි ඔන්න බැරි බැරි ගාතෙ ගෙදර ලගට එනකොට මෙන්න අම්ම ඉන්නව ගේට්ටුව ලඟ! ඉදල අහපි...

අම්මා: කෝ සේදිරිස්?
මම: මොන සේදිරිස්ද?
අම්මා: ඇයි මම සේදිරිස් එව්වනෙ එක්කන් යන්න...

බලනකොට අපේ ගමේ ඉදන් සේදිරිස් කියල අපි දන්න කියන මනුස්පයෙක් ඇවිල්ල. අම්ම මිනිහව එවල මාව එක්කන් එන්න. මට මොන සේදිරිස් ද... කතා කර ගන්න පන නෑ. අර බෑග් එක කිහිල්ලෙ ගහන් ඇවිල්ල අත දිග ඇරගන්නත් බෑ... පස්සෙ අම්ම මව ගෙට දාල දොර වහල ආපහු ගියා ඉස්කෝලෙට සේදිරිස් හොයන්න... යනකොට මෙන්න සේදිරිස් ඉන්නවලු රත්න ගොසරියෙ සීනි බෝල ටිකත් අතේ ගුලි කර ගෙන මයිල ගහ යට මම එනකන්!!!
වෙලාවට අම්ම ගියෙ, නැත්නම් සේදිරිස් තාම එතන... ඕං ඔය පහළ ඉන්නෙ... 😝


3 comments:

  1. මගේ පොඩි කාලේ මට මතක මහා නුග ගහක්. ඒක යට තමය් අපි ගිය ළදරු පාසල තිබ්බේ. උදේට නැගිට්ට ගමන් එලියට දුවල යනවා වහින්න අහස කළුද බලන්න මොකද වහින්න එනවා නම් එදාට ළදරු පාසැල නිවඩු. ඒත් වියලි කලාපේ නිසා හරි අඩුවෙන් පන්ති නැති උනේ..

    ReplyDelete
    Replies
    1. අපෙත් ගොඩක් පංති තිබ්බෙ ඔය කිව්ව මයිල ගහ යට... ඉස්කෝලෙ නම් නොයා ඉන්නවට වඩා යන්නම තමයි බැලුවෙ... ගිහිල්ලත් ඉතින් ගොඩක් කලේ එක්ස්ට්‍රා කරිකියුලර් වැඩ තමයි... :D

      Delete
  2. මට මතක් වුනේ ස්වර්ණපාලියෙ කොහොඹ ගහ...අපේ කෙල්ලො හැම රහසක්ම හැම දෙයක්ම බෙදා ගත්තෙ එතන...ඒ කොහොඹ ගහේ සිසිල එදා අපට දැනුන තරම්...මොන ඒසී එකටත් ඒ සිසිල යටයි ඕන්...

    ReplyDelete