Wednesday, May 16, 2018

හිමි අහිමි


... ජීවිතය දිග වැඩිද, එසේත් නැතිනම් මතකයන් බර වැඩිදැයි මට නොතේරේ. කාලය ගෙවෙන්නේ බොහෝ හෙමින් යැයි මට සිතෙන්නේ එදවසින් පසු අප නැවත හමු නොවූ නිසා වන්නට ඇත. මට නුඹ අතහැරුනු මෙබිමට නැවත නැවතත් මා එන්නේ මට නුඹ අමතක නොවිය යුතු නිසාය. මිනිසුන් භූමියට ආදරය කරන්නේ හා බැඳුනු මතකයන් නිසා යැයි මම සිතමි. මේ කාස්ටක දූවිලි නගරයේ මට ඇති එකම බැඳීම නුඹය. නිසා මම එමි, යමි, නැවත එමි...
හැම දූලි කැටයකම ඇත්තේ නුඹේ මතකයන් . නුඹ මා බොහෝ බැතියෙන් ඇදහූ කාලයක මතකයන් .

"... මම ආසම ඔයා කතාවක්වත් නැතුව ඔහේ බලා ගත්තු අත බලං ඉන්නවට..." නුඹ කියයි.

මම නුඹ දෙස බලමි. නුඹ පා තබන්නේ මගෙන් බොහොම දුරස්ථවය. එක්ව යන්නට එක් වූ අපි වෙන්ව යන හැටි! දුර අඩි තබා මම නුඹ වෙත එමි...

"ඊයෙ පත්තරේ තිබ්බ කවිය ලස්සනයි... කවුරු ගැනද ?"

"අපි ගැන..."

"බොරු නේ... අපි කවදාවත් කරපුවයැ ඒකෙ තිබ්බෙ..."

සැබෑය... මට ලියැවෙන්නේ මවා ගත් දේ . එහෙත් නුඹ සිතන්නේ අනෙකකි.

"... මට හිතෙනව ඔයා හැම වෙලේම සද්ද නැතුව කල්පනා කරන්නෙ අපි ගැන කියල. කල්පනා කරල කරල ලියන හැම එකේම ඉන්නෙ අපි කියල. අපි කරා නම් හොඳයි කියල ඔයාට හිතෙන එව්ව කියල..."

නුඹ හීන දකින්නේ තනිවම . නුඹේ හැම හීනෙකම සිටියේ අප .

"මං ගැනත් මොනා හරි ලියන්නකො..."

නුඹේ සුපුරුදු වචන. එහෙත්, නුඹ මා සමඟ සිටි කාලය පුරාවටම නුඹ ගැන එකඳු වචනයක් වත් මා නොලිව්වෙමි.

".. ඔව්ව ඔක්කොම එකතු කරල අපි ගහමු පොතක්. මං ගැන ලිව්ව එක දාමු මුලටම..." ... සිතිවිල්ලද නුඹට ගෙන ආවේ සතුටකි.

නුඹ මා රැගෙන යන්නට තැනුවේ බොහෝ දුර ගමනක් . 'අත අත නෑර සිටි නුඹේ අත මට අත හැරී ඇති වග පවා මට පසක් වූයේ බොහෝ කල් ගොස් .
එහෙත් මම නුඹ නොසෙව්වෙමිමතකයන් පමණක් සොයන්නට මෙහි එමි. නිහඬව දුරින් ඇවිද ගිය මාවත් වල ඇවිද යමි. නිහඬ බව බිඳින්නට නුඹ ද නැත. සියලු සිතිවිලි වියලී ගොසිනි

අප කිසි දිනෙක නැවත හමු නොවිය යුතුය. අප අපට හිමි නොවිය යුතුය. ආදරය සදාකාලික වන්නේ හිමි වීමෙන් නොව අහිමි වීමෙනි...

Tuesday, April 17, 2018

අපේ ගමේ අවුරුදු


අවුරුදු කථාවක් ලියන්ට හිටියෙ අවුරුද්දට කලින්. බැරි උනා නෙව. පරක්කු උනත් මොකෝ කියල මේ ලියන්නෙ කාලෙ ගමේ අවුරුදු ගැන.

කාලෙ කිව්වෙ මීට අවුරුදු පාළොහකට විතර කලින්. අපේ අම්මගෙ ගම කුරුණෑගල මල්වාන. අර රඹුටං තියන එක නෙවෙයි, මේ වෙන එකක්. ගම ගැන කියන්න වෙනම පෝස්ටුවක් ලියන්න හිතං ඉන්නෙ. ඒක තරං ලස්සන ගමක්.

ඉස්සර හැම අවුරුදු නිවාඩුවකටම අප්පච්චි අක්කල දෙන්නවයි මාවයි ගිහින් දානව මල්වානෙ. එහෙ ඉන්නෙ අත්තයි, අත්තම්මයි, මාමයි, නැන්දයි, නංගියි, මල්ලියි. ගෙදර තිබ්බෙ මහපාරෙන් හැරිල කිලෝමීටර් දෙකක් විතර ගියාට පස්සෙ. කොච්චර කට්ටිය හිටියත් අත්තම්මා තමයි මෙහෙ ලොක්කි. අනික් අය හිටියෙ අත්තම්ම කියන දේවල් කරන්න. ගමට ලයිට් තිබ්බෙ නෑ. ලාම්පු තමයි රෑට පත්තු කරන්නෙ. ඉතිං අපි එන්න දවසකට කලින් අත්තම්ම මාමව ටවුමට යවල බැටරිය චාර්ජ් කරන් එනව අපිට රෑට ටීවී බලන්න. අත්තා තමයි ඔංචිල්ලාව භාරව හිටියෙ. ඒත් ගොඩක් අවුරුදු වල අපි යනකනුත් අත්තා ඔංචිල්ලාව බැඳල නෑ! අපි ගිහින් පැයක් යන්න කලින් ඔන්න අත්තම්ම පටං ගන්නව අත්තට කෑ ගහන්න:
"... තාම මේ ඔංචිල්ලාව බැඳල නෑ නෙ. මේ ළමයි දැන් කොයි වෙලේද ඇවිල්ලා? යනකම්ම ඕක ගැට ගහන්නෙ නද්ද?... #$%$#@^..."
අත්තා නෙමෙයි කනකටවත් ගන්නෙ.

මට ටීවී එකවත් ඔංචිල්ලාවවත් වැඩක් උනේ නෑ... මම කෙලින්ම යන්නෙ එලියෙ තියන කටුමැටි කුස්සියට. ඒකෙ තමයි අවුරුද්දට කෑම හදන්නෙ. අද ළමයි ජීවිතේටවත් දැකල නැති කෑම අත්තම්ම කුස්සියෙ හැදුවා. එව්ව හදන්න උදව්වට ආව රන්මැණිකා. ඉතිං දෙන්න එක්ක හදන කෑම වෙන වෙනම මුට්ටි වලට දාල කට බැඳල ගිහින් තියනව ඇඳ යට. මම බොහොම ආසාවෙන් කරපු වැඩක් තමයි කෙසෙල් කැන් වලට දුම් ගහන එක. මම කරපු වැඩක් කිව්වට මම ලඟ හිටිය විතරයි. මාමා තමයි වල කපලා, කෙසෙල් කැන් වලට දාලා, පිදුරු වලින් වහල, උඩින් තහඩුවක් තියලා දුම් ගහන වැඩේ ඔක්කොම  කරේ. දුම් ගහලා ඉදිච්ච කෙසෙල් ඇවරි තියන්නෙ අර කැවිලි මුට්ටි තිබ්බ ඇඳට එහා පැත්තෙ ඇඳ යට. කට බැඳපු හින්දා කැවිලි ටික බේරුණාට කෙසෙල් ඇවරි නම් දවසෙන් දෙකෙන් ඉවර උනා...

අවුරුද්ද දවසට කලින් සෙල්ලං කරන්න හිටියෙ මමයි, චූටි අක්කයි, නංගියි, මල්ලියි විතරයි. අපේ ලොකු අක්ක කරේ අත්තම්ම එකතු කරල තිබ්බ චිත් කතා පත්තර කියවන එක. ගොඩක් වෙලාවට අපි කරේ හැංගිමුත්තො හරි, ඩක ඩකේ (ටිං කඩනවා කියන්නෙත් මේකටම තමයි) හරි තමයි.
පරණ අවුරුදු දවසෙ අපි යනවා පංසල්. යන්නෙ මල්වාන රජමහා විහාරයට. ඔය යට තියෙන්නෙ පංසලේ පරණ පිංතූරයක්. අත්තම්ම පංසලේ හොඳ දායිකාවක්. හින්දා ලොකු හාමුදුරුවො අපිට කතා කරල කියනව ".. එහෙනං අපි කේක් පාං කෑල්ලක් කාල තේ ටිකක් බොමු..." කියල. කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම්....!!

ඔන්න අවුරුදු දවස! අද තමයි යුද්දෙ. නැකැත් එහෙම හරියට වෙලාවට කරල, අත්තම්ම කෑම මේසෙ අරිනව. මෙච්චර කල් අර මුට්ටි වල හිර වෙලා තිබ්බ කෑම ඔක්කොම මේ තියෙන්නෙ මේසෙ උඩ! අපිත් උදෙන්ම ලිඳට ගිහිං මූණ හෝදලා, අලුත් ඇඳුම් ඇදලා, නැකතට වැඩ අල්ලලා... අපේ ගෙදර ළමයි විතරයි වැඩ ඇල්ලුවෙ. වෙලාවට අපි එක්කො පොතක් කියවනව, නැත්නම් මොනවහරි ලියනවා. මාමාගෙ වැඩ ඇල්ලීම තමයි රතිඤ්ඤා පත්තු කරන එක. මම දැකපු හොඳම වැඩ ඇල්ලීම කරේ කිරිබණ්ඩා. කිරිබණ්ඩා තමයි අත්තම්මලාගෙ කුඹුරු වැඩ කරේ. කිරිබණ්ඩ අවුරුදු දවසේ උදෙන්ම ගියෙ කුඹුරට. කුඹුර කොටලා, නියරක් බැඳලා, මී හරකුන්ටත් කන්න දීලා තමයි කිරිබණ්ඩා වැඩ ඇල්ලුවේ.

දැන් ඉතිං කෑම පිඟන් අරගෙන යන්න ඕනෙ ගෙවල් ගානෙ. ළමයි තමයි මේ වැඩේට අහු වෙන්නෙ. අපි ඕක කරේ මෙහෙමයි. අපේ ගෙදර තිබ්බෙ ගමේ කෙළවර. ඉතිං ඔක්කොම ළමයි ඉස්සෙල්ලම එනව අපේ ගෙදර. අපේ කෑම පිඟාන දීල, අපේ ගෙදරිනුත් කාල එහෙම අපි ඔක්කොම යනව අනික් ගෙවල් එකින් එක වන්දනා කරගෙන 😎 මේ කාණ්ඩෙ හිටියා ගමේ අපේ වයසෙ ගොඩක් අය. අපේ ගෙදරින් මම, අක්කල දෙන්නා, නංගි, මල්ලි; උඩංගාවෙ උත්පලා නංගි, වසන්ති නංගි; අලුත් වලව්වෙ පිංකි අක්ක, ධනුශ්කා නංගි; එතකොට ලක්ශි නංගි, එකී මෙකී නොකී සෑහෙන දෙනෙක්. මේ කෑම චාරිකාවෙ අන්තිම හරිය වෙනකොට අපි ඉන්නෙ බොහොම අමාරුවෙන්. කාලා කාලා උස්මුරුත්තාවට ඇවිල්ල. අලුත් අවුරුද්දෙ නොකාත් හොඳ නෑ. මම ඉතින් කෑම දෙනකොට ගන්නව. පස්සෙ එව්ව විසි කරනව ලඟ තියන පුටු, අල්මාරි යටට. නිකන් දෙනව කියල එහෙමත් කන්න බෑ නෙව.

ඔක්කෝම කියන්න ගිහිල්ල පෝස්ටුවත් දිග වැඩි උනා... මේකත් කියලම නවත්තන්නංකො. අපිව කලින්ම ගමේ ගෙනැල්ලා දැම්මට අප්පච්චි එන්නෙ අවුරුදු දවසෙ. අපි ඔක්කෝම ඉන්නෙ අප්පච්චි එනකන්. වෙන දෙයක් හින්දා නෙමෙයි. එයා එනකොට ගේනව රතිඤ්ඤා, නිලා, අහස් කූරු සහ බඹර චක්කර... ඉතිං එදා රෑට අපේ ගෙදර එක ගිණිකෙලියයි! ගමේ අයත් එනව ගිණිකෙලි බලලා, ටීවී එකත් බලලා, අප්පච්චියි මාමයි එක්ක පොඩි ශොට් එකක් දාල යන්න අවුරුද්දට!

ඔන්න ඔහොමයි අපේ අවුරුදු කාලෙ. අනේ ඉතිං දැන්...

Wednesday, March 28, 2018

සුභ ගමන් චන්දො...


චන්ද්රසිරි දොඩංගොඩ... ඔන්න ඉතිං එයත් ගිහිං යන්නම...

චන්දො හිටියෙ දිවයිනේ. කව් මුතු සංස්කරණය කලේ ඔහු. බෝම ඉස්සර, මගෙත් කවි කීපයක්ම කව් මුතු වල තිබ්බ. පස්සෙ කාලෙක අහම්බෙන් වගේ චන්දො මට හම්බ වෙන්නෙ රාජ් නාට් උළෙලක දි. අවුරුදු ගානකට කලින් මගෙ ගොං කවි කව් මුතු වලට තෝර ගත්තට මම ඔහුට ස්තූතියි කිව්වා. "හොඳ හින්දා නෙ දාල ඇත්තෙ... දැන් ලියන්නෙ නැද්ද?" ඔහු ඇහුවා. කැම්පස් එකේ වැඩත් එක්ක ලියන්න වෙලාවක් නෑ කියල තමයි මම කිව්වෙ. "ඔව්ව බොරු කතා... ලියන එකා කොහෙ හිටියත් ලියනව. ආයෙ පටං ගමු" ඔන්න ඔහොමයි චන්දො ගෙ උපදෙස්. මම හා කිව්වට එහෙම කරන්න බැරි උනා. ඊට පස්සෙ චන්දොව මතක් වෙන්නෙ ඔහුට වකුගඩුවක් ඉල්ලලා මූණුපොතේ දාල තිබ්බ දැන්වීමක් දැකලා.මතක තියා ගන්න ඕනෙ කොච්චර මිනිස්සු අපිට අමතක වෙලාද? නාමල් උඩුගමට වකුගඩුවක් දෙන්න තරම් රසිකයො හිටියට චන්දොට එහෙම හිටියෙ නැද්ද මන්දා...
මම මේ පහල ලියන්නෙ 99 අවුරුද්දෙ නවලියේ කොහෙද ගිය චන්දො ගෙ කවියක්. තාමත් කට පාඩම්... 

එහෙනම්, සුභ ගමන් චන්දො....

... දෙසැම්බරයෙන් හමා
සුලඟ තවමත් සීතලය
මේ ජනේරුව හරහා
සීතල සුලඟ හමා යයි
ඔබෙන් මා වෙත ඉතිරි වූ
ප්රේමයේ ශෝකය
මේ දුරුතු හීතල මෙන්ය...
ප්රේමයෙන් ඔත්පල සිතකට
කොයින්ද වෙන ඔසු - ප්රේමයම මිස...
එහෙත්
ලඳුන් කෙතරම් වීද
මා නෙත් පසු කොට ගිය
නමුත්,
නොරඳාය ඔවුන් කිසිවකු
මේ ගිලන් හද තුල...
ලඳකගෙ මුදු කොමළ බැල්මකට
ඔබෙන් රිදවුම් ලත් මේ දිලිඳු හදවත
සුවපත් කල නොහැකි වග
දැනේ දැන් මට...
බිඳුණු පතුලැති බඳුනක
රැඳෙත් පිණි දියර...
ඔබෙ සිහින් අතැඟිලි තුඩින්
සැනහුම් ලද මේ දෙඋර
දුරුතු හීතල වැද
හුදකලාවෙන් වෙව්ලාය...
ළඳකගෙ මුදු සිනා අතරෙහි
සැඟව ගත නොහැක මට
ඇගේ සිනා අතරෙහි
පෙනේ මට නුඹේ මුහුණ...
ඉතින් මම
කෙසේ ඔබ ගෙන් වෙන්ව
අන් ළඳක සිත පතුලෙ නිදන්න ...
කොහේ හෝ යම් තැනක මට නොපෙනි
මේ කඳුලු කවිය නුඹ කියවත්
සිතින් නුඹ හඬනු ඇත නිසැකවම
ඒත් කඳුලු බිඳු පිසලන්න
මගේ අත් ඔබ වෙතට දුර මදිය...