Tuesday, April 17, 2018

අපේ ගමේ අවුරුදු


අවුරුදු කථාවක් ලියන්ට හිටියෙ අවුරුද්දට කලින්. බැරි උනා නෙව. පරක්කු උනත් මොකෝ කියල මේ ලියන්නෙ කාලෙ ගමේ අවුරුදු ගැන.

කාලෙ කිව්වෙ මීට අවුරුදු පාළොහකට විතර කලින්. අපේ අම්මගෙ ගම කුරුණෑගල මල්වාන. අර රඹුටං තියන එක නෙවෙයි, මේ වෙන එකක්. ගම ගැන කියන්න වෙනම පෝස්ටුවක් ලියන්න හිතං ඉන්නෙ. ඒක තරං ලස්සන ගමක්.

ඉස්සර හැම අවුරුදු නිවාඩුවකටම අප්පච්චි අක්කල දෙන්නවයි මාවයි ගිහින් දානව මල්වානෙ. එහෙ ඉන්නෙ අත්තයි, අත්තම්මයි, මාමයි, නැන්දයි, නංගියි, මල්ලියි. ගෙදර තිබ්බෙ මහපාරෙන් හැරිල කිලෝමීටර් දෙකක් විතර ගියාට පස්සෙ. කොච්චර කට්ටිය හිටියත් අත්තම්මා තමයි මෙහෙ ලොක්කි. අනික් අය හිටියෙ අත්තම්ම කියන දේවල් කරන්න. ගමට ලයිට් තිබ්බෙ නෑ. ලාම්පු තමයි රෑට පත්තු කරන්නෙ. ඉතිං අපි එන්න දවසකට කලින් අත්තම්ම මාමව ටවුමට යවල බැටරිය චාර්ජ් කරන් එනව අපිට රෑට ටීවී බලන්න. අත්තා තමයි ඔංචිල්ලාව භාරව හිටියෙ. ඒත් ගොඩක් අවුරුදු වල අපි යනකනුත් අත්තා ඔංචිල්ලාව බැඳල නෑ! අපි ගිහින් පැයක් යන්න කලින් ඔන්න අත්තම්ම පටං ගන්නව අත්තට කෑ ගහන්න:
"... තාම මේ ඔංචිල්ලාව බැඳල නෑ නෙ. මේ ළමයි දැන් කොයි වෙලේද ඇවිල්ලා? යනකම්ම ඕක ගැට ගහන්නෙ නද්ද?... #$%$#@^..."
අත්තා නෙමෙයි කනකටවත් ගන්නෙ.

මට ටීවී එකවත් ඔංචිල්ලාවවත් වැඩක් උනේ නෑ... මම කෙලින්ම යන්නෙ එලියෙ තියන කටුමැටි කුස්සියට. ඒකෙ තමයි අවුරුද්දට කෑම හදන්නෙ. අද ළමයි ජීවිතේටවත් දැකල නැති කෑම අත්තම්ම කුස්සියෙ හැදුවා. එව්ව හදන්න උදව්වට ආව රන්මැණිකා. ඉතිං දෙන්න එක්ක හදන කෑම වෙන වෙනම මුට්ටි වලට දාල කට බැඳල ගිහින් තියනව ඇඳ යට. මම බොහොම ආසාවෙන් කරපු වැඩක් තමයි කෙසෙල් කැන් වලට දුම් ගහන එක. මම කරපු වැඩක් කිව්වට මම ලඟ හිටිය විතරයි. මාමා තමයි වල කපලා, කෙසෙල් කැන් වලට දාලා, පිදුරු වලින් වහල, උඩින් තහඩුවක් තියලා දුම් ගහන වැඩේ ඔක්කොම  කරේ. දුම් ගහලා ඉදිච්ච කෙසෙල් ඇවරි තියන්නෙ අර කැවිලි මුට්ටි තිබ්බ ඇඳට එහා පැත්තෙ ඇඳ යට. කට බැඳපු හින්දා කැවිලි ටික බේරුණාට කෙසෙල් ඇවරි නම් දවසෙන් දෙකෙන් ඉවර උනා...

අවුරුද්ද දවසට කලින් සෙල්ලං කරන්න හිටියෙ මමයි, චූටි අක්කයි, නංගියි, මල්ලියි විතරයි. අපේ ලොකු අක්ක කරේ අත්තම්ම එකතු කරල තිබ්බ චිත් කතා පත්තර කියවන එක. ගොඩක් වෙලාවට අපි කරේ හැංගිමුත්තො හරි, ඩක ඩකේ (ටිං කඩනවා කියන්නෙත් මේකටම තමයි) හරි තමයි.
පරණ අවුරුදු දවසෙ අපි යනවා පංසල්. යන්නෙ මල්වාන රජමහා විහාරයට. ඔය යට තියෙන්නෙ පංසලේ පරණ පිංතූරයක්. අත්තම්ම පංසලේ හොඳ දායිකාවක්. හින්දා ලොකු හාමුදුරුවො අපිට කතා කරල කියනව ".. එහෙනං අපි කේක් පාං කෑල්ලක් කාල තේ ටිකක් බොමු..." කියල. කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම්....!!

ඔන්න අවුරුදු දවස! අද තමයි යුද්දෙ. නැකැත් එහෙම හරියට වෙලාවට කරල, අත්තම්ම කෑම මේසෙ අරිනව. මෙච්චර කල් අර මුට්ටි වල හිර වෙලා තිබ්බ කෑම ඔක්කොම මේ තියෙන්නෙ මේසෙ උඩ! අපිත් උදෙන්ම ලිඳට ගිහිං මූණ හෝදලා, අලුත් ඇඳුම් ඇදලා, නැකතට වැඩ අල්ලලා... අපේ ගෙදර ළමයි විතරයි වැඩ ඇල්ලුවෙ. වෙලාවට අපි එක්කො පොතක් කියවනව, නැත්නම් මොනවහරි ලියනවා. මාමාගෙ වැඩ ඇල්ලීම තමයි රතිඤ්ඤා පත්තු කරන එක. මම දැකපු හොඳම වැඩ ඇල්ලීම කරේ කිරිබණ්ඩා. කිරිබණ්ඩා තමයි අත්තම්මලාගෙ කුඹුරු වැඩ කරේ. කිරිබණ්ඩ අවුරුදු දවසේ උදෙන්ම ගියෙ කුඹුරට. කුඹුර කොටලා, නියරක් බැඳලා, මී හරකුන්ටත් කන්න දීලා තමයි කිරිබණ්ඩා වැඩ ඇල්ලුවේ.

දැන් ඉතිං කෑම පිඟන් අරගෙන යන්න ඕනෙ ගෙවල් ගානෙ. ළමයි තමයි මේ වැඩේට අහු වෙන්නෙ. අපි ඕක කරේ මෙහෙමයි. අපේ ගෙදර තිබ්බෙ ගමේ කෙළවර. ඉතිං ඔක්කොම ළමයි ඉස්සෙල්ලම එනව අපේ ගෙදර. අපේ කෑම පිඟාන දීල, අපේ ගෙදරිනුත් කාල එහෙම අපි ඔක්කොම යනව අනික් ගෙවල් එකින් එක වන්දනා කරගෙන 😎 මේ කාණ්ඩෙ හිටියා ගමේ අපේ වයසෙ ගොඩක් අය. අපේ ගෙදරින් මම, අක්කල දෙන්නා, නංගි, මල්ලි; උඩංගාවෙ උත්පලා නංගි, වසන්ති නංගි; අලුත් වලව්වෙ පිංකි අක්ක, ධනුශ්කා නංගි; එතකොට ලක්ශි නංගි, එකී මෙකී නොකී සෑහෙන දෙනෙක්. මේ කෑම චාරිකාවෙ අන්තිම හරිය වෙනකොට අපි ඉන්නෙ බොහොම අමාරුවෙන්. කාලා කාලා උස්මුරුත්තාවට ඇවිල්ල. අලුත් අවුරුද්දෙ නොකාත් හොඳ නෑ. මම ඉතින් කෑම දෙනකොට ගන්නව. පස්සෙ එව්ව විසි කරනව ලඟ තියන පුටු, අල්මාරි යටට. නිකන් දෙනව කියල එහෙමත් කන්න බෑ නෙව.

ඔක්කෝම කියන්න ගිහිල්ල පෝස්ටුවත් දිග වැඩි උනා... මේකත් කියලම නවත්තන්නංකො. අපිව කලින්ම ගමේ ගෙනැල්ලා දැම්මට අප්පච්චි එන්නෙ අවුරුදු දවසෙ. අපි ඔක්කෝම ඉන්නෙ අප්පච්චි එනකන්. වෙන දෙයක් හින්දා නෙමෙයි. එයා එනකොට ගේනව රතිඤ්ඤා, නිලා, අහස් කූරු සහ බඹර චක්කර... ඉතිං එදා රෑට අපේ ගෙදර එක ගිණිකෙලියයි! ගමේ අයත් එනව ගිණිකෙලි බලලා, ටීවී එකත් බලලා, අප්පච්චියි මාමයි එක්ක පොඩි ශොට් එකක් දාල යන්න අවුරුද්දට!

ඔන්න ඔහොමයි අපේ අවුරුදු කාලෙ. අනේ ඉතිං දැන්...

Wednesday, March 28, 2018

සුභ ගමන් චන්දො...


චන්ද්රසිරි දොඩංගොඩ... ඔන්න ඉතිං එයත් ගිහිං යන්නම...

චන්දො හිටියෙ දිවයිනේ. කව් මුතු සංස්කරණය කලේ ඔහු. බෝම ඉස්සර, මගෙත් කවි කීපයක්ම කව් මුතු වල තිබ්බ. පස්සෙ කාලෙක අහම්බෙන් වගේ චන්දො මට හම්බ වෙන්නෙ රාජ් නාට් උළෙලක දි. අවුරුදු ගානකට කලින් මගෙ ගොං කවි කව් මුතු වලට තෝර ගත්තට මම ඔහුට ස්තූතියි කිව්වා. "හොඳ හින්දා නෙ දාල ඇත්තෙ... දැන් ලියන්නෙ නැද්ද?" ඔහු ඇහුවා. කැම්පස් එකේ වැඩත් එක්ක ලියන්න වෙලාවක් නෑ කියල තමයි මම කිව්වෙ. "ඔව්ව බොරු කතා... ලියන එකා කොහෙ හිටියත් ලියනව. ආයෙ පටං ගමු" ඔන්න ඔහොමයි චන්දො ගෙ උපදෙස්. මම හා කිව්වට එහෙම කරන්න බැරි උනා. ඊට පස්සෙ චන්දොව මතක් වෙන්නෙ ඔහුට වකුගඩුවක් ඉල්ලලා මූණුපොතේ දාල තිබ්බ දැන්වීමක් දැකලා.මතක තියා ගන්න ඕනෙ කොච්චර මිනිස්සු අපිට අමතක වෙලාද? නාමල් උඩුගමට වකුගඩුවක් දෙන්න තරම් රසිකයො හිටියට චන්දොට එහෙම හිටියෙ නැද්ද මන්දා...
මම මේ පහල ලියන්නෙ 99 අවුරුද්දෙ නවලියේ කොහෙද ගිය චන්දො ගෙ කවියක්. තාමත් කට පාඩම්... 

එහෙනම්, සුභ ගමන් චන්දො....

... දෙසැම්බරයෙන් හමා
සුලඟ තවමත් සීතලය
මේ ජනේරුව හරහා
සීතල සුලඟ හමා යයි
ඔබෙන් මා වෙත ඉතිරි වූ
ප්රේමයේ ශෝකය
මේ දුරුතු හීතල මෙන්ය...
ප්රේමයෙන් ඔත්පල සිතකට
කොයින්ද වෙන ඔසු - ප්රේමයම මිස...
එහෙත්
ලඳුන් කෙතරම් වීද
මා නෙත් පසු කොට ගිය
නමුත්,
නොරඳාය ඔවුන් කිසිවකු
මේ ගිලන් හද තුල...
ලඳකගෙ මුදු කොමළ බැල්මකට
ඔබෙන් රිදවුම් ලත් මේ දිලිඳු හදවත
සුවපත් කල නොහැකි වග
දැනේ දැන් මට...
බිඳුණු පතුලැති බඳුනක
රැඳෙත් පිණි දියර...
ඔබෙ සිහින් අතැඟිලි තුඩින්
සැනහුම් ලද මේ දෙඋර
දුරුතු හීතල වැද
හුදකලාවෙන් වෙව්ලාය...
ළඳකගෙ මුදු සිනා අතරෙහි
සැඟව ගත නොහැක මට
ඇගේ සිනා අතරෙහි
පෙනේ මට නුඹේ මුහුණ...
ඉතින් මම
කෙසේ ඔබ ගෙන් වෙන්ව
අන් ළඳක සිත පතුලෙ නිදන්න ...
කොහේ හෝ යම් තැනක මට නොපෙනි
මේ කඳුලු කවිය නුඹ කියවත්
සිතින් නුඹ හඬනු ඇත නිසැකවම
ඒත් කඳුලු බිඳු පිසලන්න
මගේ අත් ඔබ වෙතට දුර මදිය...




Friday, March 23, 2018

හින්දි උණ


පහු ගිය දවසක සිරි දේවිත් හදිස්සියෙන්ම වගේ යන්න ගිය වෙලාවෙ මට මතක් උනේ මේ මිනිස්සු එක්ක ගැට ගැහිච්ච කොච්චර නම් මතක අපේ ඔලු ඇතුලෙ තියනවද කියල. ශ්රී දේවි දකින හැම පාරකම මට ඉස්කෝලෙ කාලෙ මතක් වෙන්න පොඩි හේතුවකුත් තියනව. ඒක කියන්නත් එක්කම මේ හදන්නෙ කාලෙ අපිට තිබ්බ හිංදි උණ ගැන මතක් කරන්න.

ඉස්කෝලෙ ඉස්සෙල්ලාම කතා බහට ලක් වෙච්ච හින්දි පිලුම් එක තමයි සාජන්. මේක තිර ගත උනේ 1991 උනාට අපිට බලන්න පුලුවං විදියට ටීවී එකේ ගියෙ 93 විතර. මුල්ම පැය භාගෙ නම් සෑහෙන්න අවුල්. සල්මාන් ට උනත් ඒ දවස් වල තිබ්බෙ බලං ඉන්න පුළුවන් හැඩයක් නෙමෙයි නෙ. ඔන්න පැය භාගෙකට පස්සෙ පෙන්නනව ගෑල්ලමයෙක්! අක් ඹමරු කෙස්... කතා කරන ඇස්... ලය මඩළ උස්... වට් ඊස් දිස්?? ගෑල්ලමය කියනව සිංදුවක්... "බොහොත ප්‍යාර් කර් තේ හේ තුම් කෝ සනම්...". එදා තමයි අපි මධුරි දික්ශිත් ව ඉස්සිස්සෙල්ලම දැකපු තීරණාත්මක දවස. ඒ තමයි පටං ගැන්ම.

ඒ දවස් වල අද වගේ හැමදාම ටීවී එකේ ෆිල්ම් යන්නෙ නෑ. සතියකට එකයි. ගොඩක් වෙලාවට හින්දි ෆිල්ම් යන්නෙ ඉරිදා හවස. කොච්චර වැඩ තිබ්බත් ඉරිදා දවල් 12ට සිරසෙ හින්දි ටොප් 40 අහල, 2ට ෆිල්ම් එක බලන එක නම් වැරදුනේ නෑ. අම්මගෙ නම් කිසිම කැමැත්තක් තිබ්බෙ නෑ මේකට. අම්ම හිතුවෙම මම මෙව්ව බලල එව්ව practice කරන්න යයි කියල. ඒත් අප්පච්චි හිතුවෙ වෙනම විදියකට. අභිමාන්, ගීත්, එක් පූල් දෝ මාලි වගේ පරණ ෆිල්ම් මට ගෙනත් දුන්නෙ අප්පච්චි. VHS තමයි ගෙනත් දෙන්නෙ. කැසට් එක විතරක් මදි, ඒක බලන්න ඩෙක් එකත් එපායැ. ඒක ගෆූර් අය්යගෙන් කුළියට ගන්නෙ. මට ෆිල්ම් පෙන්නන්න අප්පච්චිට සෑහෙන්න වියදම් උනා. ඔය ගෙනත් දීපු කැසට් අතරෙ තිබ්බ "නාගීනා". ඒකෙන් තමයි මම ඉස්සෙල්ලම ශ්‍රී දේවී දැක්කෙ. ඊට පස්සෙ ඒ කාලෙ ආපු ශ්‍රී දේවි ගෙ ෆිල්ම් එකක් වැරදුනේම නෑ. චාන්ද්නී, සද්මා, මිස්ටර් ඉන්දියා, හිම්මත්වාලා, ලාඩ්ලා වගේ එව්ව විතරයි දැන් මතක. පස්සෙ ශ්‍රී දේවිගෙ කසාදෙත් එක්කම අපිට සිද්ද උනා එයාව අමතක කරල දාන්න.

මේ උණ මට තනියම හැදිච්ච එකක් නෙමෙයි. ඉස්කෝලෙ ඔක්කොටෝම වගේ තිබ්බ. අපේ පංතියෙ එකෙක් හැම මාසෙකටම සැරයක් සමීක්ශණයක් කරනව පංතියෙ කොල්ලන්ගෙ කැමතිම හින්දි නිලිය කව්ද කියල හොයන්න. ඔය කාලෙදිම තමයි හින්දි නළු නිලියන්ගෙ පෝස්ට් කාඩ් අවෙ. ඉස්කෝලෙ ඉස්සරහ මෙව්ව වික්ක අංකල්ලා සෑහෙන්න පොහොසත් වෙන්න ඇති අපි හින්දා. සල්ලිත් නැති හින්දා වරකට එක බැගින් තමයි ගත්තෙ. මම ඉස්සෙල්ලම ගත්තෙ ශ්‍රී දේවිගෙ පොටෝ කෑල්ලක්. ඔය උඩ තියෙන්නෙ ඒක. දෙවෙනියට ගත්ත එක නීලම් ගෙ. එයත් ඉන්න්ව ඕං උඩ. ඔය අස්සෙ පොටෝ මාරු කර ගන්න එවුනුත් හිටියා. "මට උඹෙ මධුරිව දියං, මගෙ සල්මන් උඹට දෙන්නම්" වගේ දෙබස් ඕනෙ තරම් ඇහුනා.

ටීවී එකෙන් ඩෙක් එකෙන් ෆිල්ම් බල බල හිටපු අපි ටිකක් ලොකු උනාම පටං ගත්ත ෆිල්ම් hall වල ට යන්න. අනුරාධපුර විජේන්ද්‍රා එක වගේම කටුගස්තොට එරීනා එකත් නිකන් ගෙදර වගේ උනා.කාජල් ඉන්න එකක් නම් අත ඇරියෙම නෑ. ඉස්සෙල්ලම හෝල් එකක බලපු කාජල් ගෙ ෆිල්ම් එක තමයි “හමේෂා”. සයිෆ් අලි කාන් තමයි හිටියෙ කොලුවට. එහෙම කිව්වට ඌට තිබ්බෙත් අපේ වගේම කන් තමයි 😂 . පුනරුප්පත්ති කතාවක් හින්ද සෑහෙන්න හිතට වැදුන. ඒත් එක්කම වගේ ආව "ප්‍යාර් ක්‍යා තෝ ධර්නා ක්‍යා" කියල එකක්. ඒකෙ හිටියෙ කාජල් සමඟ සල්මාන් කාන්. ඒ වෙනකොට සල්මාන් ගෙ අත පය ටිකක් හැදිල තිබ්බෙ. කොච්චර ඇඟ හැදුනත් මිනිහගෙ ගොංපාට් ටික නම් එලෙසම තමයි. මූල්‍යමය අර්බූද හින්ද ගන්න වෙන්නෙ ගැලරි ටිකට්. ගැලරි පුටු තියෙන්නෙ screen එක යටමයි. ඉතිං පැය දෙකක්ම උඩ බලාගෙන තමයි ඉන්නෙ. කාජල් ගෙ ගවුම උඩ යනවත් පේනව... 😩😩

ෆිල්ම් hall ගැන කියද්දි මේකත් නොකියම බෑ. ඉස්සර අනුරාධපුරේට තිබ්බෙ එක ෆිල්ම් hall එකයි. ඒ දවස් වල ෆිල්ම් ඇඩ් මතක අයට "විජේන්ද්‍රා අනුරාධපුර" කිව්වම මතක් වෙන්නෝනෙ. අපේ ඉස්කෝලෙ එකෙක් හිටිය ඌට කවදාවත් අපිත් එක්ක හොරෙන් ෆිල්ම් එකක් බලන්න යන්න උනේ නෑ. මොකද උගෙ තාත්තා තමයි විජේන්ද්‍රා එකේ ටිකට් කවුන්ටරේ හිටියෙ... විජෙන්ද්‍රා එකේ මැද තිබ්බ විසාල ලී කණු. බැරි වෙලාවත් මේ කණුවක් පිටිපස්සෙ පුටුවක් අහු උනොත් ඉතිං අපරාදෙ සල්ලි. දකුණු පැත්තෙ ඉදන් සල්මාන් ගහන පාර වදින්නෙ කාටද කියල බලන්න කණුවට වම් පැත්තෙන් එබෙන්න ඕනෙ. 👊👊


තව සෑහෙන්න කියන්න තියනව. ඉවර කරන්නත් ඕනෙ හින්ද තව පොඩි අතුරු කතාවකින්ම ඉවර කරන්නම්. දවසක් අප්පච්චි මට ගෙනත් දුන්න හින්දි ෆිල්ම් එකක්. සෑහෙන කාලයක් යනකංම මට ඒකෙ නම මතක තිබ්බෙ "තෙරේ මෙරේ බානියා" කියල. ඒකෙ හිටිය බල්ලෙක්. ඌ උගෙ ස්වාමියාට, ඒ කියන්නෙ ෆිල්ම් එකේ කොල්ල ට, නිකන් බල්ලෙක්ට කරන්න බැරි තරමේ උදව් පදව් කරනව. කොල්ලට කවුරු හරි ගහන්න අවම බල්ල තමයි ගේම දෙන්නෙ. අපේ ගෙදරත් හිටිය බල්ලෙක්. මම ඌට මේ බල්ල කරන දේවල් පුරුදු කරන්න ගිහින් උට මළ පැනල ගියා ගියාමයි ආයෙ ආවෙ නෑ! පස්සෙ මම මේ ෆිල්ම් එක සෑහෙන කාලයක් හෙව්ව. නම search කරාට හම්බ උනේ නෑ... පස්සෙ අහම්බෙන් වගේ මේ මෑතකදි හම්බ උනා... බලනකොට ඒකෙ හරි නම "තෙරේ මෙහෙරබානියා" කියහංකො! ඉතිං ආයෙත් බැලුව. කිව්වට විස්වාස කරන්න එපා, කොල්ලයි බල්ලයි හිටියා වගේමයි!! 

Tuesday, February 20, 2018

විරහ පල් හෑලි


ඉස්සර අපිට තිබ්බ ලඟම මාධ්‍ය තමයි ලියන එක. අපිව සිංදු කියන්න වත් රඟපාන්න වත් ගත්තෙ නැති හින්දා අපි අපිට ඕනෙ එව්ව කිව්වෙ ලියලා. හිතට එන ඕනෙම දෙයක් ලියලා පත්තරේට හරි රේඩියෝ එකට හරි තැපැල් කරපු කාලයක් තිබ්බා. ඒ යවපුව කියවයි ද කියල බලන්න රෑ වෙනකං රේඩියෝ එක කණේ තියාගෙන හිටපු හැටි, හැම සති අන්තෙම පත්තරේ එනකං බලං හිටපු හැටි තාම මතකයි.

අක්කලා දෙන්නටම පුළුවං කවි ලියන්න. මට නම් ලියවෙන්නෙම මේ වගෙ පල් හෑලි. කවියකින් කියන්න ඕනෙ ඔක්කොම කියන්න බෑ කියලයි මට හිතෙන්නෙ. විරහවත් රසයක් කියල කව්දෝ කිව්වට අපිට ඕක හරියටම දැනෙන්නෙ 90 ගනන් වල අග හරියෙ. ඒ කාලෙ ආපු ඔක්කොම සිංදු, නවකතා වල තිබ්බෙ ඕක. ඉතිං මටත් ඕනෙ උනා විරහ පල් හෑලි ලියන්න. ඒ දවස් වල මේ වැඩේ ජයටම කරපු කීප දෙනෙක් හිටිය. සුගත් මොරගහකුඹුර, ප්‍රගීත් රත්නායක, සුජීව පරසන්නාඅරච්චි, දිනේශ් කොලඹගේ වගේ කස්ටිය. සන්නස්ගලත් අමතක කරන්න බෑ. මෙව්ව කියවල කියවල නැති විරහවක් ඔලුවට ගහල තිබ්බ කාලෙක ලියපු එකක් තමයි ඔය පහල තියෙන්නෙ. මේක ලියවුනේ 2001 විතර. A/L ඉවර වෙලා library එකේ පදිංචි වෙලා හිටපු කාලෙ.... උඩ තියෙන්නෙ පත්තරේ ගියපු එකේ පොටෝ කෑල්ලක්. බලමුකො ඉතින් කොල්ල කොච්චර මානසික පීඩනයකින්ද ඉඳල තියෙන්නෙ කියල... විලි ලැජ්ජාවෙ සංතෝසෙ බැරුවා... 🙈🙈

".... මේ, ඔබ නැතිව ගෙවී යන සිව් වන වසරයි. කාලකන්නි කම ජීවිතේ සහේට ගෙන ඇත. දිවා රෑ නොබලා මම මරණය යැද්දෙමි. එහෙත් කඳුලු වලට දිය වෙන හිතක් මරණයට නැත. මහා වාළුකාව පරදවන මාගේ කඳුළු ගඟ වියලන්නට මරණය තවමත් නොආවේ මම තවත් ජීවත් විය යුතු නිසා යයි සිතුවෙමි. දැනුදු සිතමි. නුඹේ ආදරය වෙනුවෙන් උමතු වී ඒ වෙනුවෙන්ම මියැදෙන්නට මට අයිතියක් ඇත්තේය. ඒ අයිතිය වෙනුවෙන් මම තව දුරටත් ජීවත් වෙමි...
කුමන ඉසව්වක නුඹ සිටිත් දැයි මම නොදනිමි. එහෙත් නුඹ ජීවත් වන බව පමනක් දනිමි. සැබැවින්ම, මගේ නෙතින් ඇද වැටෙන නුඹේ කඳුලක සීතල, මගේ මුවින් විසි වෙන නුඹේ සුසුමක උණුහුම දැනෙන ඉසව්වක නුඹ ජීවත් විය යුතුය. නුඹේ සිනා හඬ නිරන්තරයෙන්ම මට ඇසෙන සේම, මගේ ඉකි හඬ සිහිනෙන් පවා නුඹේ දෙකන් තුල රැව් දෙන මායිමක නුඹ සිටිය යුතුය. මාගේ ආත්මයේ මියැදීම වෙනුවෙන්, මාගේ ඒක පුද්ගල අධිකරණය නුඹට දෙන ආදරණීය දඬුවම එයයි...
ඉතිහාසය, මෙනෙහි කිරීමට තරම් නොවටනා දෙයකි. එහෙත් මට සිහි වන්නේම එයම පමණි. ඒ, අතීතයේ සෑම අඟලකම නුඹේ මතකය තැවරී ඇති බැවිනි. නුඹේ ආදරය වෙනුවෙන් මා කළ අනන්ත කැප කිරීම් අකුරු කරන්නට මට අවශ්‍යය. එසේ අකුරු කරන මගේ ජීවිතය, කොහේ හෝ සිට ඔබ කියවත් ද, නිසැකවම නුඹ හඬනු ඇත. එසැනින්ම, ආදරය වෙනුවෙන් නැගෙන කඳුල කෙතරම් උතුම් දැයි නුඹ වටහා ගනු ඇත...
මම තවමත් නුඹ විශ්වාස කරමි. ආදරයේ අමරණීය බව මා අත්දුටු බැවිනි...."

😍🙈🙉🙊 පික්ෂු කොර 🙏👀💥💦


Tuesday, February 6, 2018

වැලංටයිං


ඔන්න ආවා පෙබරවාරි. කූඹියෝ බලද්දි දැක්ක සෝස පාට ඇඩ් එකක් හින්ද මතක් උනා වැලන්ටයින් දවසත් ලග ලගම එනව නේද කියල. ඉතිං මොකුත් නොලියත් බැරි හින්දා ඕං ලියනව අපේ කාලෙ වැලන්ටයින් ගැන.

ඔය වැලන්ටයින් දවස ගැන හරියටම අපේ ඔලුවට වැටෙන්නෙ අපි 10 වසරෙ වගේ ඉන්නකොට. නම නම් එච්චරම ඇල්ලුවෙ නැති උනත් ආදරවන්තයින් ගේ දවස කියන්නෙත් මේකටම කියල දැන ගත්තම ඔන්න අපේ උනන්දුව ටක් ගාල වැඩි උනා. අපේ ඉස්කෝලෙ පිරිමි ඉස්කෝලයක් හින්ද මේ දවස් වලට නිකන් කඩි ගුල වගේ තමයි. මුලු ඉස්කෝලෙම කොටස් දෙකකට බෙදෙනව. ආදරවන්තයෝ සහ ආදරවන්තයන් ගෙ යාළුවෝ. ඔය අස්සෙ කිසි දේකට එන්නෙ නැති මෙලෝ රහක් නැති එවුනුත් ඉන්නව. ආදරවන්තයො බිසී කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන තමංගෙ කෙල්ලට මොනව හරි ගන්න. උංගෙ යාළුවො ඊට වඩා බිසී ගන්න එව්ව කොහොමද අදාල කෙල්ලට ගිහින් දෙන්නෙ කියල ප්ලෑන් කරන්න. කොච්චර ප්ලෑන් කරත් ගොඩක් වෙලාවට අන්තිමට වෙන්නෙ පාර අයිනෙ බලං ඉදලා කෙල්ල ඉස්කෝලෙ ඇරිල එනකොට අර අමාරුවෙන් ගත්ත තෑග්ග දෙන එක. එහෙම දෙනකොටත් අර යාළුවො ටික වටේට මුර. උංටත් වැඩක් තියෙන්න එපායැ. තව සමහරු හිටිය කෙලින්ම යනව අපේ බාලිකා පාසැල ඉස්සරහටම. ගිහින් ඔක්කොටම පේන්න තෑගි හුවමාරු කර ගන්නව. ඒක දවස් වල සෑහෙන්න ලොකු වැඩක්. "අරූ බැස්ස සෙට් එකත් එක්ක කොන්වන්ට් එක ඉස්සරහටම" කියල අනික් උං ලියනව චරිත සහතිකේ. තවත් සමහරු හිටිය බාලිකා පාසැල ලගට ගිහින් නවතින්නෙ නෑ... උං පනිනව තාප්පෙන් ඒක ඇතුලට! එහෙම පැනල අහු වෙලා ශිෂ් නායක පදක්කම් පවා ගැලවුන කස්ටිය හිටිය අපිත් එක්ක... 😅😅

ඉස්සර අපි තෑගි කියල ගන්නෙ බොහොම පොඩි දේවල්. මොකක් හරි දෙන්න තමයි ඕනෙ උනේ. ඔන්න ඉතිං මමත් ගත්ත ඉස් ඉස්සෙල්ලම තෑග්ගක් වැලන්ටයින් එකට. ගත්තෙ ෆ්රේම් කරපු පොටෝ එකක්. ඔය උඩ තියෙන්නෙ පොටෝ එක තමයි... සෑහෙන්න අමාරුවෙන් අන්තර්ජාලයෙන් හොයා ගත්තෙ... කොහොම හරි ඉතිං ඒක දී ගන්න බැරි උනා... අසුභයි... පස්සෙ වැඩේ එහෙම්ම දිය වෙලා ගියා... දිය වෙන්න කලිං දරුවා මට දුන්නා තැඹිලි පාට පෑනක්. ඕං ඔව්ව තමයි අපේ තෑගි. දැන් නම් පෑනක් දුන්නොත් ඉතිං වැලන්ටයින් සාමි පිහිටයි...

මට හිටියෙ අක්කලම දෙන්නෙක් හින්දා වැලන්ටයින් කාලෙ මට වාසි අවාසි දෙකම තිබ්බ. වාසි කිව්වොත් මට මුළු අවුරුද්දම වැලන්ටයින් වගේ තමයි. උං දෙන්න පස්සෙං යන කොලු කුරුට්ටො ඉස්සෙල්ලම එන්නෙ මගෙ පස්සෙං. කෑම බීම කිසි අඩුවක් තිබ්බෙ නෑ මට. අවාසි කිව්වොත්, අපේ උන් දෙන්නම ඉස්කෝලෙ ශිෂ් නායකයො. ඉතිං මම වැරදිලාවත් ඉස්කෝලෙ පැත්ත පලාතකවත් ගියොත් දෙන්නටම ආරංචි වෙනවා. ඉස්කෝලෙ ටීචර් කෙනෙකුට අහු වෙලා "... පුතා අක්ක හම්බ වෙන්නද" කියල අහපු වෙලාවලුත් නැතුවම නෙමෙයි. අනික තමයි අර තාප්පෙන් පනින උන් අහු උනාම උන් මගෙත් එක්ක තරහ වෙනව හරියට මම අක්කලට කිව්ව වගේ උං අල්ල ගන්න.

කොහොම හරි පස්සෙ කාලෙක වැලන්ටයින් දවස වාණිජකරණය වෙන්න පටං ගත්තා. මේ වෙනසේ මූලික පියවර මට හිතෙන හැටියට 90 ගණන් වල අග තිබ්බ සන්නස්ගල ගෙ "ආදර වැස්ස". විහාර මහා දේවී එකට කොල්ලො කෙල්ලො ගෙනල්ල නටපු නැටුම දවස් වල සෑහෙන්න ප්රසිද්ධ උනා. මේකට කස්ටිය ගෙන්න ගන්න සන්නස්ගල මරු උපායක් දැම්මා. තමයි, මේ ආදර වැස්සෙ තෙමෙන්න එන එවුන්ගෙන් හොදම ජෝඩුව තෝරල උන් දෙන්නට සන්නස්ගලගෙ ආදරණීය වස්සානය චිත්රපටියෙ ප්රධාන චරිත දෙක දෙනව කියල. මේක අහල මමත් සෑහෙන්න දුක් උනා කොළඹ හිටිය නම් ගිහින් හොදම ජෝඩුවට තේරෙන්න තිබ්බ නේද කියල. ඒත් ජෝඩු දාල යන්න එකෙක් නෑ නේද කියල මතක් උනේ පස්සෙ. කොහොම හරි චිත්රපටිය බලනකොට තමයි තේරුණේ එදා චතුරිකා පීරිසුයි රොශාන් රවීන්ද්රයි දෙන්නත් ආදර වැස්සෙ තෙමෙන්න ඇවිල්ල හොදම ජෝඩුවටත් තේරිල කියල. මොකද උන් දෙන්න තමයි ඒකෙ හිටියෙ... හොර ගෙඩියො....

ඉතිං කාලෙත් එක්ක කොහොම වෙනස් උනත් මුදලාලිලාගෙ උගුල් වල වැටෙන්නෙ නැතුව කාටවත් කරදරේකුත් නැතුව පස්සෙ කාලෙක මේ වගේ මතක් කරල සතුටු වෙන්න පුලුවන් විදියට මේක සමරනවා නම් හොදයි නෙව.
එහෙනම් ඔක්කොටෝම ශ්රී සුභ වැලන්ටයින් මංගල්යයක් වේවා! සියලු දෙනාටම වැලන්ටයින් සාමි පිහිටයි!