චන්ද්රසිරි දොඩංගොඩ... ඔන්න ඉතිං එයත් ගිහිං යන්නම...
චන්දො හිටියෙ දිවයිනේ. කව් මුතු සංස්කරණය කලේ ඔහු. බෝම ඉස්සර, මගෙත් කවි කීපයක්ම කව් මුතු වල තිබ්බ. පස්සෙ කාලෙක අහම්බෙන් වගේ චන්දො ව මට හම්බ වෙන්නෙ රාජ්‍ය නාට්‍ය උළෙලක දි. අවුරුදු ගානකට කලින් මගෙ ගොං කවි කව් මුතු වලට තෝර ගත්තට මම ඔහුට ස්තූතියි කිව්වා. "හොඳ හින්දා නෙ දාල ඇත්තෙ... දැන් ලියන්නෙ නැද්ද?" ඔහු ඇහුවා. කැම්පස් එකේ වැඩත් එක්ක ලියන්න වෙලාවක් නෑ කියල තමයි මම කිව්වෙ. "ඔව්ව බොරු කතා... ලියන එකා කොහෙ හිටියත් ලියනව. ආයෙ පටං ගමු" ඔන්න ඔහොමයි චන්දො ගෙ උපදෙස්. මම හා කිව්වට එහෙම කරන්න බැරි උනා. ඊට පස්සෙ චන්දොව මතක් වෙන්නෙ ඔහුට වකුගඩුවක් ඉල්ලලා මූණුපොතේ දාල තිබ්බ දැන්වීමක් දැකලා.මතක තියා ගන්න ඕනෙ කොච්චර මිනිස්සු අපිට අමතක වෙලාද? නාමල් උඩුගමට වකුගඩුවක් දෙන්න තරම් රසිකයො හිටියට චන්දොට එහෙම හිටියෙ නැද්ද මන්දා...
මම මේ පහල ලියන්නෙ 99 අවුරුද්දෙ නවලියේ ද කොහෙද ගිය චන්දො ගෙ කවියක්. තාමත් කට පාඩම්...
එහෙනම්, සුභ ගමන් චන්දො....
... දෙසැම්බරයෙන් හමා ආ
සුලඟ තවමත් සීතලය
මේ ජනේරුව හරහා ද
ඒ සීතල සුලඟ හමා යයි
ඔබෙන් මා වෙත ඉතිරි වූ
ප්රේමයේ ශෝකය ද
මේ දුරුතු හීතල මෙන්ය...
ප්රේමයෙන් ඔත්පල සිතකට
කොයින්ද වෙන ඔසු - ප්රේමයම මිස...
එහෙත්
ලඳුන් කෙතරම් වීද
මා නෙත් පසු කොට ගිය
එ නමුත්,
නොරඳාය ඔවුන් කිසිවකු
මේ ගිලන් හද තුල...
ලඳකගෙ මුදු කොමළ බැල්මකට
ඔබෙන් රිදවුම් ලත් මේ දිලිඳු හදවත
සුවපත් කල නොහැකි වග
දැනේ දැන් මට...
බිඳුණු පතුලැති බඳුනක
රැඳෙත් ද පිණි දියර...
ඔබෙ සිහින් අතැඟිලි තුඩින්
සැනහුම් ලද මේ දෙඋර
දුරුතු හීතල වැද
හුදකලාවෙන් වෙව්ලාය...
ළඳකගෙ මුදු සිනා අතරෙහි
සැඟව ගත නොහැක මට
ඇගේ ඒ සිනා අතරෙහි
පෙනේ මට නුඹේ මුහුණ...
ඉතින් මම
කෙසේ ඔබ ගෙන් වෙන්ව
අන් ළඳක සිත පතුලෙ නිදන්න ද...
කොහේ හෝ යම් තැනක මට නොපෙනි
මේ කඳුලු කවිය නුඹ කියවත් ද
සිතින් නුඹ හඬනු ඇත නිසැකවම
ඒත් ඒ කඳුලු බිඳු පිසලන්න
මගේ අත් ඔබ වෙතට දුර මදිය...






