Tuesday, February 20, 2018

විරහ පල් හෑලි


ඉස්සර අපිට තිබ්බ ලඟම මාධ්‍ය තමයි ලියන එක. අපිව සිංදු කියන්න වත් රඟපාන්න වත් ගත්තෙ නැති හින්දා අපි අපිට ඕනෙ එව්ව කිව්වෙ ලියලා. හිතට එන ඕනෙම දෙයක් ලියලා පත්තරේට හරි රේඩියෝ එකට හරි තැපැල් කරපු කාලයක් තිබ්බා. ඒ යවපුව කියවයි ද කියල බලන්න රෑ වෙනකං රේඩියෝ එක කණේ තියාගෙන හිටපු හැටි, හැම සති අන්තෙම පත්තරේ එනකං බලං හිටපු හැටි තාම මතකයි.

අක්කලා දෙන්නටම පුළුවං කවි ලියන්න. මට නම් ලියවෙන්නෙම මේ වගෙ පල් හෑලි. කවියකින් කියන්න ඕනෙ ඔක්කොම කියන්න බෑ කියලයි මට හිතෙන්නෙ. විරහවත් රසයක් කියල කව්දෝ කිව්වට අපිට ඕක හරියටම දැනෙන්නෙ 90 ගනන් වල අග හරියෙ. ඒ කාලෙ ආපු ඔක්කොම සිංදු, නවකතා වල තිබ්බෙ ඕක. ඉතිං මටත් ඕනෙ උනා විරහ පල් හෑලි ලියන්න. ඒ දවස් වල මේ වැඩේ ජයටම කරපු කීප දෙනෙක් හිටිය. සුගත් මොරගහකුඹුර, ප්‍රගීත් රත්නායක, සුජීව පරසන්නාඅරච්චි, දිනේශ් කොලඹගේ වගේ කස්ටිය. සන්නස්ගලත් අමතක කරන්න බෑ. මෙව්ව කියවල කියවල නැති විරහවක් ඔලුවට ගහල තිබ්බ කාලෙක ලියපු එකක් තමයි ඔය පහල තියෙන්නෙ. මේක ලියවුනේ 2001 විතර. A/L ඉවර වෙලා library එකේ පදිංචි වෙලා හිටපු කාලෙ.... උඩ තියෙන්නෙ පත්තරේ ගියපු එකේ පොටෝ කෑල්ලක්. බලමුකො ඉතින් කොල්ල කොච්චර මානසික පීඩනයකින්ද ඉඳල තියෙන්නෙ කියල... විලි ලැජ්ජාවෙ සංතෝසෙ බැරුවා... 🙈🙈

".... මේ, ඔබ නැතිව ගෙවී යන සිව් වන වසරයි. කාලකන්නි කම ජීවිතේ සහේට ගෙන ඇත. දිවා රෑ නොබලා මම මරණය යැද්දෙමි. එහෙත් කඳුලු වලට දිය වෙන හිතක් මරණයට නැත. මහා වාළුකාව පරදවන මාගේ කඳුළු ගඟ වියලන්නට මරණය තවමත් නොආවේ මම තවත් ජීවත් විය යුතු නිසා යයි සිතුවෙමි. දැනුදු සිතමි. නුඹේ ආදරය වෙනුවෙන් උමතු වී ඒ වෙනුවෙන්ම මියැදෙන්නට මට අයිතියක් ඇත්තේය. ඒ අයිතිය වෙනුවෙන් මම තව දුරටත් ජීවත් වෙමි...
කුමන ඉසව්වක නුඹ සිටිත් දැයි මම නොදනිමි. එහෙත් නුඹ ජීවත් වන බව පමනක් දනිමි. සැබැවින්ම, මගේ නෙතින් ඇද වැටෙන නුඹේ කඳුලක සීතල, මගේ මුවින් විසි වෙන නුඹේ සුසුමක උණුහුම දැනෙන ඉසව්වක නුඹ ජීවත් විය යුතුය. නුඹේ සිනා හඬ නිරන්තරයෙන්ම මට ඇසෙන සේම, මගේ ඉකි හඬ සිහිනෙන් පවා නුඹේ දෙකන් තුල රැව් දෙන මායිමක නුඹ සිටිය යුතුය. මාගේ ආත්මයේ මියැදීම වෙනුවෙන්, මාගේ ඒක පුද්ගල අධිකරණය නුඹට දෙන ආදරණීය දඬුවම එයයි...
ඉතිහාසය, මෙනෙහි කිරීමට තරම් නොවටනා දෙයකි. එහෙත් මට සිහි වන්නේම එයම පමණි. ඒ, අතීතයේ සෑම අඟලකම නුඹේ මතකය තැවරී ඇති බැවිනි. නුඹේ ආදරය වෙනුවෙන් මා කළ අනන්ත කැප කිරීම් අකුරු කරන්නට මට අවශ්‍යය. එසේ අකුරු කරන මගේ ජීවිතය, කොහේ හෝ සිට ඔබ කියවත් ද, නිසැකවම නුඹ හඬනු ඇත. එසැනින්ම, ආදරය වෙනුවෙන් නැගෙන කඳුල කෙතරම් උතුම් දැයි නුඹ වටහා ගනු ඇත...
මම තවමත් නුඹ විශ්වාස කරමි. ආදරයේ අමරණීය බව මා අත්දුටු බැවිනි...."

😍🙈🙉🙊 පික්ෂු කොර 🙏👀💥💦


Tuesday, February 6, 2018

වැලංටයිං


ඔන්න ආවා පෙබරවාරි. කූඹියෝ බලද්දි දැක්ක සෝස පාට ඇඩ් එකක් හින්ද මතක් උනා වැලන්ටයින් දවසත් ලග ලගම එනව නේද කියල. ඉතිං මොකුත් නොලියත් බැරි හින්දා ඕං ලියනව අපේ කාලෙ වැලන්ටයින් ගැන.

ඔය වැලන්ටයින් දවස ගැන හරියටම අපේ ඔලුවට වැටෙන්නෙ අපි 10 වසරෙ වගේ ඉන්නකොට. නම නම් එච්චරම ඇල්ලුවෙ නැති උනත් ආදරවන්තයින් ගේ දවස කියන්නෙත් මේකටම කියල දැන ගත්තම ඔන්න අපේ උනන්දුව ටක් ගාල වැඩි උනා. අපේ ඉස්කෝලෙ පිරිමි ඉස්කෝලයක් හින්ද මේ දවස් වලට නිකන් කඩි ගුල වගේ තමයි. මුලු ඉස්කෝලෙම කොටස් දෙකකට බෙදෙනව. ආදරවන්තයෝ සහ ආදරවන්තයන් ගෙ යාළුවෝ. ඔය අස්සෙ කිසි දේකට එන්නෙ නැති මෙලෝ රහක් නැති එවුනුත් ඉන්නව. ආදරවන්තයො බිසී කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන තමංගෙ කෙල්ලට මොනව හරි ගන්න. උංගෙ යාළුවො ඊට වඩා බිසී ගන්න එව්ව කොහොමද අදාල කෙල්ලට ගිහින් දෙන්නෙ කියල ප්ලෑන් කරන්න. කොච්චර ප්ලෑන් කරත් ගොඩක් වෙලාවට අන්තිමට වෙන්නෙ පාර අයිනෙ බලං ඉදලා කෙල්ල ඉස්කෝලෙ ඇරිල එනකොට අර අමාරුවෙන් ගත්ත තෑග්ග දෙන එක. එහෙම දෙනකොටත් අර යාළුවො ටික වටේට මුර. උංටත් වැඩක් තියෙන්න එපායැ. තව සමහරු හිටිය කෙලින්ම යනව අපේ බාලිකා පාසැල ඉස්සරහටම. ගිහින් ඔක්කොටම පේන්න තෑගි හුවමාරු කර ගන්නව. ඒක දවස් වල සෑහෙන්න ලොකු වැඩක්. "අරූ බැස්ස සෙට් එකත් එක්ක කොන්වන්ට් එක ඉස්සරහටම" කියල අනික් උං ලියනව චරිත සහතිකේ. තවත් සමහරු හිටිය බාලිකා පාසැල ලගට ගිහින් නවතින්නෙ නෑ... උං පනිනව තාප්පෙන් ඒක ඇතුලට! එහෙම පැනල අහු වෙලා ශිෂ් නායක පදක්කම් පවා ගැලවුන කස්ටිය හිටිය අපිත් එක්ක... 😅😅

ඉස්සර අපි තෑගි කියල ගන්නෙ බොහොම පොඩි දේවල්. මොකක් හරි දෙන්න තමයි ඕනෙ උනේ. ඔන්න ඉතිං මමත් ගත්ත ඉස් ඉස්සෙල්ලම තෑග්ගක් වැලන්ටයින් එකට. ගත්තෙ ෆ්රේම් කරපු පොටෝ එකක්. ඔය උඩ තියෙන්නෙ පොටෝ එක තමයි... සෑහෙන්න අමාරුවෙන් අන්තර්ජාලයෙන් හොයා ගත්තෙ... කොහොම හරි ඉතිං ඒක දී ගන්න බැරි උනා... අසුභයි... පස්සෙ වැඩේ එහෙම්ම දිය වෙලා ගියා... දිය වෙන්න කලිං දරුවා මට දුන්නා තැඹිලි පාට පෑනක්. ඕං ඔව්ව තමයි අපේ තෑගි. දැන් නම් පෑනක් දුන්නොත් ඉතිං වැලන්ටයින් සාමි පිහිටයි...

මට හිටියෙ අක්කලම දෙන්නෙක් හින්දා වැලන්ටයින් කාලෙ මට වාසි අවාසි දෙකම තිබ්බ. වාසි කිව්වොත් මට මුළු අවුරුද්දම වැලන්ටයින් වගේ තමයි. උං දෙන්න පස්සෙං යන කොලු කුරුට්ටො ඉස්සෙල්ලම එන්නෙ මගෙ පස්සෙං. කෑම බීම කිසි අඩුවක් තිබ්බෙ නෑ මට. අවාසි කිව්වොත්, අපේ උන් දෙන්නම ඉස්කෝලෙ ශිෂ් නායකයො. ඉතිං මම වැරදිලාවත් ඉස්කෝලෙ පැත්ත පලාතකවත් ගියොත් දෙන්නටම ආරංචි වෙනවා. ඉස්කෝලෙ ටීචර් කෙනෙකුට අහු වෙලා "... පුතා අක්ක හම්බ වෙන්නද" කියල අහපු වෙලාවලුත් නැතුවම නෙමෙයි. අනික තමයි අර තාප්පෙන් පනින උන් අහු උනාම උන් මගෙත් එක්ක තරහ වෙනව හරියට මම අක්කලට කිව්ව වගේ උං අල්ල ගන්න.

කොහොම හරි පස්සෙ කාලෙක වැලන්ටයින් දවස වාණිජකරණය වෙන්න පටං ගත්තා. මේ වෙනසේ මූලික පියවර මට හිතෙන හැටියට 90 ගණන් වල අග තිබ්බ සන්නස්ගල ගෙ "ආදර වැස්ස". විහාර මහා දේවී එකට කොල්ලො කෙල්ලො ගෙනල්ල නටපු නැටුම දවස් වල සෑහෙන්න ප්රසිද්ධ උනා. මේකට කස්ටිය ගෙන්න ගන්න සන්නස්ගල මරු උපායක් දැම්මා. තමයි, මේ ආදර වැස්සෙ තෙමෙන්න එන එවුන්ගෙන් හොදම ජෝඩුව තෝරල උන් දෙන්නට සන්නස්ගලගෙ ආදරණීය වස්සානය චිත්රපටියෙ ප්රධාන චරිත දෙක දෙනව කියල. මේක අහල මමත් සෑහෙන්න දුක් උනා කොළඹ හිටිය නම් ගිහින් හොදම ජෝඩුවට තේරෙන්න තිබ්බ නේද කියල. ඒත් ජෝඩු දාල යන්න එකෙක් නෑ නේද කියල මතක් උනේ පස්සෙ. කොහොම හරි චිත්රපටිය බලනකොට තමයි තේරුණේ එදා චතුරිකා පීරිසුයි රොශාන් රවීන්ද්රයි දෙන්නත් ආදර වැස්සෙ තෙමෙන්න ඇවිල්ල හොදම ජෝඩුවටත් තේරිල කියල. මොකද උන් දෙන්න තමයි ඒකෙ හිටියෙ... හොර ගෙඩියො....

ඉතිං කාලෙත් එක්ක කොහොම වෙනස් උනත් මුදලාලිලාගෙ උගුල් වල වැටෙන්නෙ නැතුව කාටවත් කරදරේකුත් නැතුව පස්සෙ කාලෙක මේ වගේ මතක් කරල සතුටු වෙන්න පුලුවන් විදියට මේක සමරනවා නම් හොදයි නෙව.
එහෙනම් ඔක්කොටෝම ශ්රී සුභ වැලන්ටයින් මංගල්යයක් වේවා! සියලු දෙනාටම වැලන්ටයින් සාමි පිහිටයි!

Monday, January 22, 2018

බාලදක්ෂ 1

මම 6 වසරෙ වගේ ඉන්නකොට අප්පච්චි ට ඕනෙ උනා මාව බාලදක්ෂයෙක් කරන්න. ඒ වෙනකොටත් අප්පච්චි බාලදක්ෂයෙක් විදියට කරපු කියපු දේවල් අහල තිබ්බ හින්ද මගෙත් ලොකු ආසාවක් තිබ්බ මේ ගැන. ඒ නැතත් ගෙදරින් එලියට පනින්නෙ කොහොමද කියල හිත හිත හිටපු මට මේකට බෑ කියන්න ඕනෙ උනේ නෑ.

කොහොම හරි ඉස්කෝලෙ අදාල ගුරුවරුත් හම්බ වෙලා කතා කරල එක සෙනසුරාදා දවසක අප්පච්චි මාව ගිහින් බාර දුන්න ඉස්කෝලෙ බාලදක්ෂ කණ්ඩායමට. මාත් එක්කම අපේ පංතියෙ තව දෙන්නෙක් ඇවිල්ල හිටිය. ඒ සේලක පීරිස් (සනා) සහ අනුරුද්ධ කරුණාරත්න (වැද්දා). එදා පටං ගත්ත බාලදක්ෂ ගමන අපි තුන් දෙනා සෑහෙන දුරක් ගියා. බාලදක්ෂ ක්‍රියාකාරකම් වෙනුවෙන් ඉස්කෝලෙ ගුරුවරයෙක් වත් හිටපු නැති පස්සෙ කාලෙක අපි තුන් දෙනා බොහොම කැපවීමෙන් අපේ scout troop එක බලා හදා ගත්ත. ඉස්කෝලෙ ගමන නවත්තනකන්ම, මම ඉගෙන ගත්ත ඉස්කෝල දෙකේම බාලදක්ෂයෙක් විදියට වැඩ කරන්න තරම් ඒ කැපවීම උත්සන්න උනා... 😆😆

හැබැයි ඒ කැපවීම ආවෙ පස්සෙ. මුලින්ම ඕනෙ උනේ සෙනසුරාදා උදේ ගෙදරින් එලියට පනින්න. පස්සෙ මේ ගැට, ප්‍රථමාධාර, කඳවුරු, ගිණිමැල එක්ක ගෙවිච්ච ජීවිතේට අපි සෑහෙන්න ලං උනා. විවිධ තරාතිරමෙ මිනිස්සු ඉන්න කාණ්ඩයක් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියන එක ඉගෙන ගත්තෙ එතනින්. ගැට ටික අමතක උනත් ඒ වගේ පාඩම් නම් තාම මතකයි. "Once a scout, always a scout" කියල කවුදෝ කිව්වලු නෙ... 😏

බාලදක්ෂ කතා නම් ගොඩයි. ඒත් ඉස්සෙල්ලම මේක කියන්න ඔනෙ කියල හිතුනා. මේක සිද්ද උනේ එකදාස් නමසිය 96 විතර. දිස්ත්‍රික්කෙ වාර්ශික මිත්‍රත්ව බාලදක්ෂ කඳවුර සංවිධානය කරන්න භාර උනේ අපේ ඉස්කොලෙට. මුලින්ම සල්ලි ටිකක් හොයා ගන්න ඔනෙ හින්ද අපි ගැහුව ස්ටිකර් එකක්. මේ ස්ටිකර් එකක් රුපියල් 10 කට විකුණල අපේ මූලික වියදම හොයා ගන්න තමයි අපේ බලාපොරොත්තුව උනේ. ඉතිං අපේ ජ්‍යේෂ්ඨ කණිෂ්ඨ ඔක්කොම බාලදක්ෂයෝ එකතු වෙලා කාණ්ඩ කීපෙකට බෙදිලා නගර, ගම්, නියං ගම් හැම එකේම ඇවිද්දා මේ ටික විකුණ ගන්න. ඉතිං කාට හරි මේක විකුනද්දි කියන්න ඕනෙ ටික අපි කට්ටියට කියල දුන්නා. කොච්චර කිව්වත් අදහස විතරක් අරන් උඹලගෙ වචනෙන් කියපං කියල එකෙක්වත් ඇහුවෙ නෑ. ඔක්කොම මෙන්න මේක ගිරවා දා ගත්තා... "අපි අහවල් ඉස්කෝලෙ බාලදක්ෂයෝ. අපි මිත්‍රත්ව බාලදක්ෂ කඳවුරක් ගහනවා. ඒකට ආධාර වශයෙන් මේ ස්ටිකර් එක කරල තියනවා.ඉතිං මේ ස්ටිකර් එකක් අරන් අපේ කඳවුරට අධාරයක් කරන්න".

ඔන්න දවසක් උදේම අපි පිටත් උනා ස්ටිකර් වෙළඳාමේ. හවස් වෙනකන් ම තැන් තැන් වල ඇවිදල කස්ටියටම සෑහෙන්න මහන්සියි. තව ගෙවල් 10ක් වත් කරමු කියල හිතුවත් එකෙක් වත් කතා කරන්න භාර ගන්නෙ නෑ මහන්සි හින්දා. ඔන්න මගෙ කාණ්ඩෙ විකසිත මල්ලි ආව ඉස්සරහට... "අයියෙ, මම කරන්නම්" කියල ගත්ත ස්ටිකර් මිටිය අතට. දැන් මිනිහ වැඩේ ඇදගෙන යනවා. ඔන්න අපි ගියා ඊලඟ ගෙදරට. විකසිතයට වැඩේ කරන්න දීල අනික් එවුන් ලඟ තියන ගස් ගල් බිත්ති මල් පෝච්චි වල හේත්තු වෙලා ඉන්නව. ආව ගෘහ මූලික අංකල් එලියට. විකසිත පටං ගත්ත...

විකසිත: අංකල්, අපි අහවල් ඉස්කෝලෙ බාලදක්ෂයෝ. අපි මේ ස්ටිකර් එකක් ගහනවා. ඒකට ආධාර වශයෙන් කෑම්ප් එකක් කරල තියනවා.ඉතිං මේ කෑම්ප් එකක් අරන් ස්ටිකර් එකට අධාරයක් කරන්න...

අංකල්: #$@%%^&%**

විකසිතයගෙ කතාවට අංකල් ගෙ මූණ විකසිත වෙලා ගියා... 😂😂

ප. ලි.
විකසිත මල්ලි ගැන මේ කතාවත් නොකියාම බෑ. පස්සෙ කාලෙක අපි ඔක්කොම කැම්පස් යද්දී විකසිත මල්ලි දෙවන ලුතිනන්වරයෙක් විදියට අධිකාරිය ලබමින් ශ්‍රී ලංකා යුධ හමුදාවට එකතු උනා. අවසන් යුද්ධයේදී මව් බිමට සියලු යුතුකම් ඉටු කළ ඔහු අද විශ්‍රාමික මේජර් වරයෙක්.
මේජර් ගයාන් විකසිත RWP RSP, උඹ අපිට ආඩම්බරයක් ....



Monday, January 8, 2018

සේදිරිස්

අලුත් අවුරුද්දෙ කියන්ට යන්නෙ පරණ කතාවක් ඕං...

මේක වෙනකොට මම දෙක වසරෙ විතර ඇති. අම්ම හැමදාම ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඇවිල්ල office එක ඉස්සරහ මයිල ගහ යට ට වෙලා ඉන්නව මම එනකං. ඒ එන්නෙත් නිකන් නෙමෙයි. රත්න ග්‍රොසරියෙන් සීනි බෝල රුපියලකත් අරගෙන තමයි එන්නෙ. ඉස්සර අනික් ළමයි එක්කන් යන්න එන අම්මල අපේ අම්ම ට කියනවලු ඔයාගෙ පුතා නම් හැමදාම හිනා වී ගෙන මයි එන්නෙ කියල. ඒ අම්මලත් රත්න ගොසරිය පැත්තෙ ගිහින් ආව නම්  ඒ ළමයිනුත් හිනා වෙන්න තිබ්බ... ඉතින් අපි දෙන්න කිලෝමීටර දෙකක් විතර පයින්ම තමයි ගෙදරට එන්නෙ. ඒ එන ගමන් මම කන්නෙ සීනි බෝල දෙකක් විතර තමයි. අනික් ටික ගෙදර ඇවිල්ල ටික ටික තමයි කන්නෙ. ඉස්සර අම්ම දෙහි හදලා දුන්නම මම බොන්නෙ හැන්දෙන්. ලෝබ කමට නෙමෙයි, ඉවර වෙයි කියල බයට...

ඔන්න මේ කියන දවසෙ මම ඉස්කොලෙ ඇරිල එනකොට අම්ම නෑ මයිල ගහ යට!! මට හිතා ගන්න බෑ මොකද කරන්නෙ කියල.  අනික් ළමයිනුත් එයාලගෙ අම්මල එක්ක යනව. මමත් ඔන්න ඔහෙ ඔනෙ එකක් කියල තනියම පයින් ම යන්න පටන් ගත්ත. මට ඒ දවස් වල ඉස්කොලෙ බෑග් එකක් තිබ්බෙ නෑ. අප්පච්චි කොහෙන් හරි හොයල දීල තිබ්බ අර මුදලාලි ලා සල්ලි එකතු කරන්න අරන් යන වගේ සිප් එකක් තියන ලොකු බෑග් එකක්. ඕකත් කිහිල්ලෙ ගහගෙන දැන් මම යනව. යන්න ඕනෙ ඉස්පිරිතාලෙ පහු කරගෙන. ඉස්පිරිතාලෙ ඉස්සරහ පේමන්ට් එකේ පළතුරු කඩ වල කොල්ලො "ආ.. පොඩි මුදලාලී.." කියනව ඇහෙනව. මම ඉතින් ඇහුනෙ නෑ වගේ ආව. මගදි රත්න ගොසරිය දකිද්දි පපුව හෝස් ගාල ගියා... කොහොම හරි ඔන්න බැරි බැරි ගාතෙ ගෙදර ලගට එනකොට මෙන්න අම්ම ඉන්නව ගේට්ටුව ලඟ! ඉදල අහපි...

අම්මා: කෝ සේදිරිස්?
මම: මොන සේදිරිස්ද?
අම්මා: ඇයි මම සේදිරිස් එව්වනෙ එක්කන් යන්න...

බලනකොට අපේ ගමේ ඉදන් සේදිරිස් කියල අපි දන්න කියන මනුස්පයෙක් ඇවිල්ල. අම්ම මිනිහව එවල මාව එක්කන් එන්න. මට මොන සේදිරිස් ද... කතා කර ගන්න පන නෑ. අර බෑග් එක කිහිල්ලෙ ගහන් ඇවිල්ල අත දිග ඇරගන්නත් බෑ... පස්සෙ අම්ම මව ගෙට දාල දොර වහල ආපහු ගියා ඉස්කෝලෙට සේදිරිස් හොයන්න... යනකොට මෙන්න සේදිරිස් ඉන්නවලු රත්න ගොසරියෙ සීනි බෝල ටිකත් අතේ ගුලි කර ගෙන මයිල ගහ යට මම එනකන්!!!
වෙලාවට අම්ම ගියෙ, නැත්නම් සේදිරිස් තාම එතන... ඕං ඔය පහළ ඉන්නෙ... 😝


Saturday, December 16, 2017

අප්පච්චි

 අප්පච්චි නැති වෙලා අදට අවුරුදු 20ක්...

අවුරුදු 20ක් ම ගෙවිලා ගිහින්.

මට අප්පච්චිත් එක්ක ඉන්න ලැබුනෙ මට අව්රුදු දාසයක් වෙනකන් විතරයි. ඒ උනත් මම මගෙ මුලු ජීවිතේම ඉගෙන ගත්තෙ ඒ අව්රුදු දාසයෙන් තමයි.
මම නිතරම කිව්වට අප්පච්චි තමයි මෙ ජීවිතෙ මට ඉගැන්නුවෙ කියල, අප්පච්චි මට කවදාවත් ලඟට අඬ ගහල මොකුත් කියල දීල නෑ. ඒත් එයා දැනගෙන හිටිය මම එයා දිහ බලාගෙන ඉන්නව කියල. ඒක කියන කොට අතුරු කතාවක් මතක් උනා... ඒ දවස් වල (මම ඉස්කෝලෙ යන්නත් කලින් කාලේ) අප්පච්චි පාවිච්චි කරා "අබ්ලික්" කියල වචනයක්. මොකක් හරි වැරදුනාම "මාර අබ්ලික් එක" කියනව... (මම හිතන්නෙ සුද්දා ඔය "OBLIQUE" කියල වචනෙ හදා ගන්නඇත්තෙ අපේ අබ්ලික් එකෙන් වෙන්න ඇති :)) හරි, ඉතින් දවසක් අප්පච්චි එයාගෙ මෝටර් බයිසිකලේ මොකක් ද කරනව දැකල මම ගිහින් අහපි "අප්පච්චි, මොකක්ද අබ්ලික් එක?" කියල... අප්පච්චි එදා ඉඳන් කවදාවත් ඒ වචනෙ ආයෙ කිව්වෙ නෑ...

ඉතින්, පොඩි පොඩි බිස්නස් කරපු අප්පච්චි පස්සෙ කාලෙක ටවුමෙ හොඳ ව්යාපාරිකයෙක් උනා. ඉස්සර තිබ්බ පුස් සයිකලේ වෙනුවට එක එක වාහන ත් ගත්ත. ඒත් මිනිස්සුත් එක්ක අප්පච්චි ගෙ තිබ්බ බැඳීම වෙනස් උනේ නෑ. තමන් ට කලින් අනික් අය ගැන හිතන්න මම පුරුදු උනේ අප්පච්චි ගෙන්. අතේ තියන අන්තිම රුපියල් දහයත් හිඟන්නෙක් එක්ක බෙදා ගන්න මම පුරුදු උනේ අප්පච්චි ගෙන්. ඒ එයා මට කියල දීල නෙමෙයි. එයා කරනව බලන් ඉදල. මට මතකයි, අනුරාධපුරේ තෙල් පිරිපහදුවට කොටි ගහපු වෙලාවෙ අප්පච්චි මාවයි, අක්කලා දෙන්නවයි, අම්මවයි හතර පාරකට පුස් සයිකලේ තියන් ගිහින් ඒක පෙන්නුව. 88 - 89 කාලෙ පාරෙ යනකොට අප්පච්චි කවදාවත් අපේ ඇස් වැහුවෙ නෑ. "රටේ මේ වගේ කාලයක් තිබ්බ කියල උඹලට මතක තියෙන්න ඕනෙ" ඒ අප්පච්චි ගෙ වචන...

අප්පච්චි නැති උනාට පස්සෙ එයා හම්බ කරපු මොකවත් එයාගෙ මේසෙ ලාච්චුවෙ තිබ්බෙ නෑ... ඒ වෙලාවෙ අම්ම අසරණ වුන හැටි, ඒත් එ අසර්ණ කමට පයින් ගහල අපිවත් උස්සගෙන නැගිට්ට හැටි කියන්න නම් තවත් මෙ වගේ දිග පෝස්ටුවක් ලියන්න ඕනෙ. කොහොම හරි, අප්පච්චි හම්බ කරපුව අපි දැක්කෙ පාර තොටේදි. කොහෙ හරි යන්න බස් එකකට නැග්ගත් කොන්දොස්තර අම්මට කියනව "ආ බන්ඩාර මහත්තය ගෙ නෝන නේද, සල්ලි එපා..." කියල. අප්පච්චිගෙ මරණෙට ආණ්ඩුවෙ ලොකු ලොක්කන් ගෙ ඉඳන් මර්කැට්ටුවෙ මුට්ට කර ගහපු නන්දෙ අය්ය වෙන කන් මිනිස්සු ආව.  ගොඩක් මිනිස්සු ඇඬුව. මැරුනෙ උබලගෙ අප්පච්චි නෙමෙයි... මැරුණෙ අපි... කියල මිනිස්සු කිව්ව. ඒ තමයි අප්පච්චි හම්බ කරපු දේ... එහෙම තමයි අපෙ අප්පච්චි මැරිලත් අපිට ජීවත් වෙන්න ඉගැන්නුවෙ...

කොහොම උනත්, මගෙ අනාගතේ ගැන ලොකු බලාපොරොත්තුවක් අප්පච්චිගෙ තිබ්බ බවක් නම් ඒ කාලෙ පෙනුනෙ නෑ. මම ඒ කාලෙ වැඩ කරෙත් එහෙම බලාපොරොත්තු තියා ගන්න පුලුවන් විදියට නෙමෙයි නෙව... මම ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච දවසෙ අප්පච්චි ගෙ මූණෙ තිබ්බ පුදුමෙ මට අද වගේ මතකයි. ඒත් ඊට පස්සෙ මම O/L, A/L පාස් වෙනව බලන්නවත් අද මගෙ නම පිටිපස්සෙ තියෙන අකුරු ගොඩ ගන්නව බලන්නවත් අප්පච්චිට ඉන්න බැරි උනා... එව්ව දැක්කෙ නැතත් අප්පච්චි ගෙ පපුවෙ තිබ්බ මනුස්සකමෙන් පොඩ්ඩක් හරි මගෙ පපුවෙත් තියනව කියල අප්පච්චි දැක්ක නම් කියල හැමදාම හිතෙනව...

කාලයක් තිස්සෙ පටං ගන්න හිතං හිටපු බ්ලොග්ගුවත් අද පටං ගන්නෙ අප්පච්චි ගැන කියල.  පළවෙනි පෝස්ටුව ම අප්පච්චි ගැන ලියන්න හිතුවෙ අප්පච්චි ගැන නොකිය මේ කිසිම කතාවක් කියල තේරුමක් නැති හින්ද. මම මේ ලියන්න හිතන් ඉන්න හැම කතාවක් පිටි පස්සෙම තියෙන්නෙ මම අප්පච්චි ගෙන් ඉගෙන ගත්ත මොකක් හරි එකක්. ඉතින් ඉස්සෙල්ලම එයා ගැන නොකිය කොහොමද...

අප්පච්චි මට නම් ඉවර වෙන්නෙම නැති කතාවක්....

2017 - 12 - 16