... නුඹ, අද මෙහි එන බැව් මම ඉඳුරාම දැන සිටියෙමි. බොහෝ කලකට පෙර නුඹ වළ දැමූ, මට වළ දැමීමට නොහැකි වූ, අතීතයේ විසල් පදාසයකම අයිතිකරු මා වූ බැවිනි. ඒ සා අයිතියක් මිහිදන්ව සැඟව යාමට මොහොතකට හෝ මත්තෙන් නුඹ එන බැව් මම දැන සිටියෙමි.
නුඹ දුරින් එනු මම බලා සිටිමි. පෙර දින රාත්රියේ සිට මග දෙපස එල්ලෙන සුදු කොඩි වැල් දැක තැති ගැණුනු නුඹ දෙඇස් ද, පැකිලෙන දෙපා ද මම දකිමි. තව දුරටත් ලෙයින් මසින් තොර වුවද, මගේ හදවත නුඹ වෙනුවෙන් හඬා වැටෙන හඬ මට ඇසේ. තවමත්... ඔව්, තිස් වසරකට පසු තවමත් නුඹේ හද ගැහෙන'යුරු මට දැනේ. මම නුඹ වෙත එමි. මා පිලිබඳ මතකයක සේයාවකඳු ඇත්දැයි නුඹ දෑස් විපරම් කරමි... විශ්වාස කරනු මැන... බොහෝ කලකට පෙර වළ දැමුවා යැයි මා සිතූ අප පිලිබඳ සියලු මතක, එක් දූලි කැටයකඳු අඩු නැතිව, නුඹ දෑස් පුරා විසිරී ඇති සැටි දකිමි… මම පසුතැවෙමි... නුඹ මා වෙත එන තුරු බලා නොසිට, මා නුඹ වෙත නොආ වරදින් පසුතැවෙමි...
ගොක් කොළ, සුදු කොඩි, මල් වඩම් සියල්ල පසු කරමින් ඇදෙන පියවරක් පියවරක් පාසා මම නුඹ ලඟ රැඳෙමි. බොහෝ වේලා සිට දැල්වෙන පිත්තල පහන ඉදිරියේ නුඹ නතර වන විට ද, මම නුඹේ සුරත ගෙන නුඹ ලඟම සිටියෙමි. මා නුඹ එන තුරු බලා සිටිනා අතර ඔවුන් මා බොහෝ හැඩ කොට නිවස මැද තබා ඇති බව පෙනේ. මේ... නුඹ ජීවිතයෙ අසීරුම මොහොත යැයි මම දනිමි. මේ කඩා හැලෙන කඳුලු වැල් සාක්ෂි ය. නුඹට නොහැඟුන ද, නොදැනුන ද, මම නුඹ අසලම සිටියෙමි... දැනුඳු සිටිමි. නුඹ ඉදිරියට පැමිණ නොහඬන්න යැයි කියමි.... නුඹේ වත දෝතට ගෙන කඳුලු පිස දැමීමට හැකි වෙර යොදමි... එහෙත්... නුඹට මා නොපෙනෙන සේය... මම පසුතැවෙමි... පැය කිහිපයකට පෙර මා බොහෝ සතුටින් හැර දමා ආ ශරීරයට වැද ඒ වැහැරුණු දෙඅතින් නැවත නුඹ වැලඳ ගන්නට මට සිතේ... ජීවත්ව සිටිද්දී ද, ජීවිතයෙන් ඔබ්බෙහි ද, මා නුඹ ඉදිරියේ අසරණ වූ සැටියකි...
මම බලා සිටින්නට තීරණය කරමි. කොතෙක් කල් ගත වුවද, නුඹ කෙදිනක හෝ මා වෙත එන බැව් මා දැන් දනිමි. නුඹ අද රැගෙන ආවේ ඒ බලාපොරොත්තුව ය. එකම මල් කිනිත්තක් හෝ නොමැතිව, එහෙත් මල්වඩම් සහසකට වඩා බරැති ආදරයක්ද දරා ගෙන, නුඹ අද රැගෙන ආවේ ඒ බලාපොරොත්තුව ය...
ඉඳින්, මම බලා හිඳිමි... අප වෙන් වූ ලෝකයට ඔබ්බෙන් වූ ලෝකයක එක් වන්නට මම බලා හිඳිමි... නුඹ අසලම රැඳෙමි...