Tuesday, February 20, 2018

විරහ පල් හෑලි


ඉස්සර අපිට තිබ්බ ලඟම මාධ්‍ය තමයි ලියන එක. අපිව සිංදු කියන්න වත් රඟපාන්න වත් ගත්තෙ නැති හින්දා අපි අපිට ඕනෙ එව්ව කිව්වෙ ලියලා. හිතට එන ඕනෙම දෙයක් ලියලා පත්තරේට හරි රේඩියෝ එකට හරි තැපැල් කරපු කාලයක් තිබ්බා. ඒ යවපුව කියවයි ද කියල බලන්න රෑ වෙනකං රේඩියෝ එක කණේ තියාගෙන හිටපු හැටි, හැම සති අන්තෙම පත්තරේ එනකං බලං හිටපු හැටි තාම මතකයි.

අක්කලා දෙන්නටම පුළුවං කවි ලියන්න. මට නම් ලියවෙන්නෙම මේ වගෙ පල් හෑලි. කවියකින් කියන්න ඕනෙ ඔක්කොම කියන්න බෑ කියලයි මට හිතෙන්නෙ. විරහවත් රසයක් කියල කව්දෝ කිව්වට අපිට ඕක හරියටම දැනෙන්නෙ 90 ගනන් වල අග හරියෙ. ඒ කාලෙ ආපු ඔක්කොම සිංදු, නවකතා වල තිබ්බෙ ඕක. ඉතිං මටත් ඕනෙ උනා විරහ පල් හෑලි ලියන්න. ඒ දවස් වල මේ වැඩේ ජයටම කරපු කීප දෙනෙක් හිටිය. සුගත් මොරගහකුඹුර, ප්‍රගීත් රත්නායක, සුජීව පරසන්නාඅරච්චි, දිනේශ් කොලඹගේ වගේ කස්ටිය. සන්නස්ගලත් අමතක කරන්න බෑ. මෙව්ව කියවල කියවල නැති විරහවක් ඔලුවට ගහල තිබ්බ කාලෙක ලියපු එකක් තමයි ඔය පහල තියෙන්නෙ. මේක ලියවුනේ 2001 විතර. A/L ඉවර වෙලා library එකේ පදිංචි වෙලා හිටපු කාලෙ.... උඩ තියෙන්නෙ පත්තරේ ගියපු එකේ පොටෝ කෑල්ලක්. බලමුකො ඉතින් කොල්ල කොච්චර මානසික පීඩනයකින්ද ඉඳල තියෙන්නෙ කියල... විලි ලැජ්ජාවෙ සංතෝසෙ බැරුවා... 🙈🙈

".... මේ, ඔබ නැතිව ගෙවී යන සිව් වන වසරයි. කාලකන්නි කම ජීවිතේ සහේට ගෙන ඇත. දිවා රෑ නොබලා මම මරණය යැද්දෙමි. එහෙත් කඳුලු වලට දිය වෙන හිතක් මරණයට නැත. මහා වාළුකාව පරදවන මාගේ කඳුළු ගඟ වියලන්නට මරණය තවමත් නොආවේ මම තවත් ජීවත් විය යුතු නිසා යයි සිතුවෙමි. දැනුදු සිතමි. නුඹේ ආදරය වෙනුවෙන් උමතු වී ඒ වෙනුවෙන්ම මියැදෙන්නට මට අයිතියක් ඇත්තේය. ඒ අයිතිය වෙනුවෙන් මම තව දුරටත් ජීවත් වෙමි...
කුමන ඉසව්වක නුඹ සිටිත් දැයි මම නොදනිමි. එහෙත් නුඹ ජීවත් වන බව පමනක් දනිමි. සැබැවින්ම, මගේ නෙතින් ඇද වැටෙන නුඹේ කඳුලක සීතල, මගේ මුවින් විසි වෙන නුඹේ සුසුමක උණුහුම දැනෙන ඉසව්වක නුඹ ජීවත් විය යුතුය. නුඹේ සිනා හඬ නිරන්තරයෙන්ම මට ඇසෙන සේම, මගේ ඉකි හඬ සිහිනෙන් පවා නුඹේ දෙකන් තුල රැව් දෙන මායිමක නුඹ සිටිය යුතුය. මාගේ ආත්මයේ මියැදීම වෙනුවෙන්, මාගේ ඒක පුද්ගල අධිකරණය නුඹට දෙන ආදරණීය දඬුවම එයයි...
ඉතිහාසය, මෙනෙහි කිරීමට තරම් නොවටනා දෙයකි. එහෙත් මට සිහි වන්නේම එයම පමණි. ඒ, අතීතයේ සෑම අඟලකම නුඹේ මතකය තැවරී ඇති බැවිනි. නුඹේ ආදරය වෙනුවෙන් මා කළ අනන්ත කැප කිරීම් අකුරු කරන්නට මට අවශ්‍යය. එසේ අකුරු කරන මගේ ජීවිතය, කොහේ හෝ සිට ඔබ කියවත් ද, නිසැකවම නුඹ හඬනු ඇත. එසැනින්ම, ආදරය වෙනුවෙන් නැගෙන කඳුල කෙතරම් උතුම් දැයි නුඹ වටහා ගනු ඇත...
මම තවමත් නුඹ විශ්වාස කරමි. ආදරයේ අමරණීය බව මා අත්දුටු බැවිනි...."

😍🙈🙉🙊 පික්ෂු කොර 🙏👀💥💦


2 comments:

  1. ඉතිං ඒ පල්හෑලි හොඳයිනේ

    ReplyDelete
  2. බෝම ඉස්තූතී හිත හොඳ පුංචි ඉවාන් :) ... දිගටම පල්හෑලි ම ලියන්න තමයි මගෙ කල්පනාව... :-p

    ReplyDelete