Sunday, November 4, 2018

මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...




ඉතින්... නුඹ ඇවිත්. බලාපොරොත්තු නොවුණම මොහොතක උනත්, නුඹ ඇවිත්... හරියටම මාසයක්... ජීවිත කාලයක් වගේ දැණුන මාසයක්...

මගෙ අතට එනකොට උඹ රෝස පාට පුංචිම පුංචි කෙල්ලෙක්. මම බැලුවෙ උඹෙ අම්ම දිහා... ඇඟේ තිබ්බ ලේ වලින් බාගයක්ම බිම හැලිලා කියල උන්දැට ගානක්වත් නෑ... උඹ දිහා බල අහනව,

"අඬනවද...?"

මට මතක් උනා කොහේදෝ පොතක තිබ්බ කතාවක්. දරුවෙක් කියන්නෙ අම්මගෙ බඩෙන් ආපු අම්මගෙම කෑල්ලක්. ඒත් දුවෙක් එන්නෙ තාත්තෙක් ගෙ පපුවෙන්...

මෙච්චර කාලෙකට ජීවිතේ නොතිබ්බ මොකක්දෝ බරක් නුඹ අරන් ඇවිත්. නුඹ එන බව දැන ගත්ත මොහොතෙ ඉඳන්ම මම හිතුවෙ මගෙ ජීවිතේ ඉතිරි කාලෙ නුඹත් එක්ක කොහොම ගත වෙයි කියල. නුඹට කොහොම ජීවිතේ කියල දෙන්නද කියල. උඹ මේ ඇවිල්ල තියෙන්නෙ උඹෙ අප්පච්චි ජීවිතේ ඉගෙන ගත්ත ලෝකෙට වඩා බොහොම වෙනස් ෆැන්ටසි ලෝකෙකට. ඒත්, උඹෙ අප්පච්චිට පුලුවන් වේවි උඹට කියල දෙන්න මේ ෆැන්ටසියෙ ඉඳන් හැබෑ ලෝකෙට එබෙන හැටි. මට පුලුවන් වේවි උඹෙ අතට ටැබ් එකක්, අයි ෆෝන් එකක් වෙනුවට පොතක් දෙන්න... උඹට මිනිස්සු ජීවත් වෙන හැටි ගැන කතන්දර කියන්න... මුදලිහාමි සපත්තුත් නැතිව දිව්ව හැටි, පාවෙල් කොර්චාගින් විප්ලවේට ලෑස්ති වෙච්ච හැටි, වැඩබැරි දාස කවි ලිව්ව හැටි විතරක් නෙමෙයි, මම උඹට කියන්නම් දුයිෂෙන් වගේ හදවතින්ම මේ ලෝකෙට ආදරේ කරන හැටි... මම කියන්නම් උඹෙන් බොහොම ඈත පුංචි දූපතක හිර වෙලා ඉන්න උඹේ මිනිස්සු ගැන... උන්ගෙ හිනාව ගැන... අන්තිම වතුර උගුරත් බෙදාගෙන බොන උන්ගෙ ලස්සන හිත් ගැන...

මගෙ දුවේ... ලොකු මිනිහෙක් නොවී උඹ හොඳ මිනිහෙක් වෙයං. දුකට හදවතින්ම අඬන, සතුටට හදවතින්ම හිනා වෙන, පපුවෙන් ජීවත් වෙන මිනිහෙක් වෙයං... ඔලුවෙන් ජීවත් වෙන ලෝකයක් ඇතුලෙ පපුවෙන් ජීවත් වෙන මිනිහෙක් වෙයං... සිතිවිල්ලකින් පවා මේ ලෝකෙට යහපතක් කරන මිනිහෙක්... ජීවිතේ අමාරු වෙලාවකදි, උඹෙ අප්පච්චි උඹට ලියපු මේ පළවෙනි ලියුම කියවපං... උඹට පාර පෙනේවි...

දවසක් ඒවි, උඹට ජීවිතේට මූණ දෙන්න. එදාට, උඹෙ අපප්ච්චි උඹ ලඟින් හිටියත්, කොහේ හරි පස් ගොඩක් යට වැළලිලා හිටියත්, මට විශ්වාසයි උඹ මේ ජීවිතේ ජය ගන්න වගට... , උඹේ ඇඟ ඇතුලෙ ගැහෙන්නෙත් මගේම හදවත බව මම දන්න නිසයි...

අප්පච්චි



6 comments:

  1. පිය පදවියට පත්වීම ගැන උණුසුම් සුභ පැතුම්. මෙවන් සිතුවිලි වලින් හෙබි පියකු ලත් ඇය වාසනාවන්තයි

    ReplyDelete
  2. සුපැතුම්, ඔබේ නව පදවියට! ඒ එක්කම ඔබේ බලාපොරොත්තුව සපිරී, ලොවට වැඩදායී; පලදායී; කෙනෙකුව ඔබේ දියණිය වැඩේවා කියාත් පතමි!

    ReplyDelete
  3. උණුසුම් සුබ පැතුම් . පහුගිය දවසක මහාචාර්ය රන්කඩුව එක්ක කල කථා බහකදී ඔබ ගැන ගොඩක් දේ කිව්වා . ටොරොන්ටෝ පැත්තේ එන වෙලාවක කියන්න . මම වැඩකරන්නේ නගර මධ්‍යයේ නිසා හමුවෙන්න බැරිවෙන එකක් නැහැ . ඔබේ නිර්මාණ ජීවිතයට සුබපැතුම්.

    ReplyDelete